කොවිඩ්-19

සෞඛ්‍ය/ආරක්ෂක අංශවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයයේ පැතිර යාමත් සමග ඇති වී තිබෙන අවදානම් තත්ත්වයන් යටතේ ඒ හා සම්බන්ධව කටයුතු කරනු ලබන වෛද්‍යවරුන් ඇතුලූ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තවදුරටත් පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සඳහා, විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී අප්‍රේල් මස 28 වන දින රැස්වූ විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවේ දී තීරණය කර තිබේ.

මෙහිදී, ඇදිරිනීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවල රෝහල්වලට පැමිණෙන රෝගීන් හට සලසන සුව සේවා සත්කාරක සේවාවන්, නිසි අයුරින් සැලසීමටත්, පවතින අවදානම හමුවේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍යවරුන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සීමා කොට එම සීමා කරන ලද කාර්ය මණ්ඩලය තුළින් උපරිම සුව සේවා සත්කාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන් පිළිබදවත්, එම සුව සේවා සත්කාර සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇගලුම් හා අනෙකුත් උපකරණ ලබාදීම පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කර ඇත.

කෝවිඩ්-19 මර්දන වැඩපිළිවෙලේ දී ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලට අවශ්‍ය අමතර වාහන කඩිනමින් ලබාදීමටත්, දෛනිකව සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය තවත් ඉහළනැංවීමටත්, පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදව ද සාකච්ඡා කර තිබේ.

කොවිඩ්-19 මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ජා කොට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීමට ද එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද මෙහිදී අවධානය යොමු වී ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top