කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් රෝහලක ඉහළ පෙළේ තනතුරක් දැරූ වෛද්‍ය ලෝර්නා බ්‍රීන් අප්‍රේල් මස 26 වනදා සියදිවි හානිකරගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ඇයගේ පියා වන ආචාර්ය පිලිප් බ්‍රීන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබුනේ “ඇය තම රාජකාරිය කිරීමට උත්සාහ කළ අතර එය ඇයව මරා දැමුවා” යනුවෙනි. එසේම, ඇයගේ දියණියට මානසික රෝගයක් වැළඳී නොතිබූ බවත් වෛද්‍ය ලෝර්නා බ්‍රීන් රාජකාරි අතරතුර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව සති එකහමාරකට පමණ පසු නැවත රැකියාව සඳහා රෝහල වෙත ගිය බවත් ඇගේ පියා සිද්ධිය පිළීබඳව කරුණු පැහැදිලි කරමින් පවසා තිබුණි. එසේම, ඇයව චාලට්ස්විල් වෙත ගෙන ඒමට ඇගේ පවුලේ අය මැදිහත් වීමට පෙර රෝහල විසින් ඇයව නැවත නිවසට එවූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේ නමුත්, අවසන් වරට ඔහු තම දියණිය සමඟ කතාබහ කරන විට පවසා තිබුණේ ගිලන්රථවලින් ඉවත් කිරීමට පවා පෙර කොවිඩ් -19 රෝගීන් මිය යන ආකාරය පිළිබඳවයි.
ඇයගේ මරණය පිළීබඳව දැනුම් දීමට චාර්ලට්ස්විල් පොලීසිය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලීසිය විසින් සඳහන් කර තිබුණේ අප්‍රේල් 26 වන දින ඇයව රෝහල්ගත කිරිමෙන් පසුව මිය ගිය බවයි. තවද, මරණයට හේතුව ලෙස ස්වයංව සිදු කරගත් තුවාල හේතු වී ඇති බව පොලිසිය විසින් තහවුරු කරයි.
පොලිස් ප්‍රධානී රෂාල් බ්‍රැක්නි නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ“ වසංගතයට එරෙහිව ඉදිරිපෙළ කටයුතු කළ ද සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වසංගතයේ ප්‍රතිඵලයන්ට මානසික හෝ ශාරීරිකව ප්‍රතිශක්තියක් තිබෙන අයවලුන් නොවන බවයි.”
ඇයගේ පියා පවසන්නේ හදිසි අනතුරු ඒකකයේ සේවය කරමින් කොරෝනා වසංගතයට එරෙහිව ඉදිරි පෙළ කටයුතු කළ ඇයගේ දියණියට වීරයෙක් ලෙස සමාජය සැලකිය යුතු බවත් දැනටමත් නිව්යෝර්ක් නගරයේ සේවය කරමින් කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින සියල්ලම වීරවරයන් ලෙස සැලකිය යුතු බවත් ය.
වෛද්‍ය ලෝර්නා බ්‍රීන් මෑන්හැටන් හි නිව් යෝර්ක්-ප්‍රෙස්බිටේරියන් ඇලන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර මිය යන විට 49 හැවිරිදි වියේ පසුවිය.

