,
Entertainment

සුදේව හා රංගන හිරුට ආයුබෝවන් කියයි, මොකද උනේ?

පුංචි තිරයේ ජනප්‍රිය පූරකයින් දෙදෙනෙක් වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබෙනවා. මෙලෙස ඉවත් වී ඇත්තේ පූර්ව දැනුම් දීමකින් තොරව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ.බී.සී මාධ්‍ය ජාලයේ ආරම්භක සාමාජිකයෙකු වන සුදේව හෙට්ටි ආරච්චි හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත් පූරකයෙක් බවට පත්වුනා. ඊට පෙර හිරු එෆ්.එම්. හී ඔහුගේ හඩ ශ්‍රාවකයින්ට හුරු පුරුදු හඩක්ව තිබුණා. ඔහුගේ හඬ හිරු තේමාව බවට ද පත්ව තිබූ අතර සළකුණ, බලය ඇතුළු වැඩසටහන්වල මෙන්ම විශේෂ වැඩසටහන්වල පූරකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු හිරු පුවත් අධ්‍යක්ෂධූරයද දැරූ බව වාර්තා වෙනවා.

රංගන ද සිල්වා ටී.එන්.එල් නාලිකාවේ සිට පසුව හිරු ටීවී ආරම්භයත් සමග හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ වූ අතර එතැන් පටන් පත්තරේ විස්තරේ, සළකුණ හා කොපි චැට් තුළින් ද විශේෂ වැඩසටහන් තුළින් ද ප්‍රේක්ෂකයින් අතරට පැමිණියා.

කෙසේ නමුත් මොවුන් දෙදෙනාගේ ඉවත් වීම ආරවුලක් මත සිදුවූවක් නොවන බව ඔවුන්ට හිතවත් ආරංචි මාර්ග කියා සිටියා. එහෙත් ඉල්ලා අස්වීමට අදාළ පෙර දැනුම් දීම සිදු නොකිරීම හේතුවෙන් ආයතනයේ කළමණාකාරීත්වය කණගාටුවෙන් පසුවන බව ඔවුන් සදහන් කළා.

මේ අතර ෆේස්බුක් සටහනක් තබමින් රංගන ද සිල්වා මේ බව තහවුරු කර ඇති අතර එහි “ඉතින් ආයුබෝවන් හිරු මව්නි ගරු” යනුවෙන් සටහන් කර තිබෙනවා. ඊට සුදේව හෙට්ටිආරච්චිවද සම්බන්ධ කරගනිමින් අදාළ සටහන පළ කර තිබෙනවා.

වාර්තා වන තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරටත් රංගන ද සිල්වා එම නාලිකාවේම නාලිකා ප්‍රධානී ලෙසත් පත් වීමට නියමිතයි.

මේ අතර ඔවුන් දෙදෙනාගේ ආගමනයත් සමග ස්වර්ණවාහිණියේ දීර්ග කාලීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර පසුව ඉන් ඉවත් වී ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ හරේන්ද්‍ර ජයලාල් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවද සඳහන්. හරේන්ද්‍ර ජයලාල් යනු ප්‍රවෘත්ති කියන කලාවට අලුත් රටාවක් හඳුන්වාදුන් පුද්ගලයෙකු ලෙස සැළකෙනවා.

මේ අතර හිරු මාධ්‍ය ජාලයේ පත්තරේ විස්තරේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ටීඑන්එල් ඇතුළු නාලිකා කිහිපයක කටයුතු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රමට ආරාධනා ලැබී ඇති බවද වාර්තා වෙනවා. ඔහුට හිතවත් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බවයි.

Rivira Ads
To Top