දේශීය පුවත්

පූර්ණ ආබාධිත හා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ට නිවෙස්වල සිටීමට අවසර දෙයි

නිවාඩු ලැබ නිවෙස්වල සිටින පූර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රීඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයන්ට නිවෙස්වලට වී සිටීමට අවසර ලබා දි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

එමෙන්ම, අප්‍රේල් මස 28 වැනි දින කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් 31 දෙනා අතරින් සිව් දෙනෙකු යුද හමුදා සාමාජිකයන් වේ. එයින් තිදෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ යුද හමුදා වෛද්‍ය බලකායට අයත් බවත් තවත් එක් අයෙකු එම තිදෙනාගෙන් එක් අයෙකුගේ මිත්‍රයෙක් වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මීට අමතරව, අප්‍රේල් මස 28 වැනි දින නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙකුට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු ඇති බවත් එම 21 දෙනා සමීපව ඇසුරු කළ පුද්ගලයින් 06 දෙනෙකුට ද වෛරසය වැළඳී ඇති බවත් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එම නාවික හමුදා සාමාජිකයින් 21 දෙනා අතරින් 15 දෙනෙකු වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරෙන්ද සෙසු පිරිස මැදිරිගිරිය, අගලවත්ත, හබරණ යන ප්‍රදේශයන්ගෙන් ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.

මේ වන විට, නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළුන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට එළඹ ඇති බවත් ඔවුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වී ඇති පුද්ගලයින් බහුතරයක් අදාළ සාමාජිකයින් ගේ නිවැසියන් සහ අසල්වැසියන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

කෙසේ වුවත්, නාවික හමුදා සාමාජිකයින්ගේ සමීප ස්පර්ශකයින්ට ඉදිරියේදී වෛරසය වැළඳී ඇති ද යන්න පිළිබඳව සෞඛ්‍ය හා බුද්ධි අංශ සාමාජිකයින් අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ ” නාවික සෙබළුන් සමීපව ඇසුරු කර තිබු අය කවුරුන් ද කියා හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. නමුත් ඉදිරියේදී පොකුරු (Cluster) වශයෙන් වෛරසය පැතිරීමේ අවදානමක් තිබෙනවා ද කියා දැන්ම කියන්න බැහැ. නමුත් අපි අවධානයෙන් පසුවනවා” යනුවෙනි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top