තාක්ෂණය

පෙන්ටගනය නිකුත් කළ UFO වීඩියෝ සහ එහි පසුබිම

පසුගිය දිනෙක ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් “පැහැදිලි කළ නොහැකි ගුවන් සංසිද්ධියක” වර්ගීකරණය නොකළ වීඩියෝ තුනක් නිකුත් කර තිබුණි. නමුත් එලෙස නිකුත් කර ඇති එම වීඩියෝපට 2007 සහ 2017 වසරවලදී මාධ්‍ය වෙත නොනිල වශයෙන් අනාවරණය (ලීක්) වී තිබුණි.

නමුත් මෙලෙස අදාළ වීඩියෝපට නිල වශයෙන් නිකුත් කරමින් පෙන්ටගනය කියා සිටියේ, “සංසරණය වන වීඩියෝ දර්ශන සත්‍යද නැද්ද යන්න පිළිබඳව මහජනතාවගේ වැරදි වැටහීම් ඉවත් කිරීමට” අවශ්‍ය වූ බවයි.

අදාළ වීඩියෝපටවලින් දෙකක් මීට පෙරදී නිව් යෝර්ක් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, තුන්වැනි වීඩියෝව ප්‍රකාශයට පත් කර තිබුණේ හිටපු බ්ලින්ක් -182 ගායක ටොම් ඩිලොන්ග් විසින් සම-අනුග්‍රාහකත්වයෙන් ආරම්භ කරන ලද ඩීලොන්ජ් නම් සංවිධානයකි.

ඒවා මුලින්ම මාධ්‍යවල පළ වූ පසු, සමහර අය කියා සිටියේ වීඩියෝවල පිටසක්වල හඳුනා නොගත් පියාසර වස්තූන් (UFOs) ඇති බවයි.

අදාළ වීඩියෝවල ඇත්තේ කුමක්ද?

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, 2004 වසරේදී ලබාගත් වීඩියෝ ක්ලිප් එක නාවික ප්‍රහාරක ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් රූගත කර ඇති අතර, පැසිෆික් සාගරයට සැතපුම් 100 ක් (කි.මී. 160) පමණ දුරකින් රවුම් වස්තුවක් ජලයට ඉහළින් සැරිසරන අයුරු එහි දැක්වේ.

2015 දී රූගත කරන ලද තවත් වීඩියෝ දෙකක දැක්වෙන්නේ යම් වස්තූන් වාතය හරහා ගමන් කරන බව පෙන්වන අතර ඉන් එකක් භ්‍රමණය වේ. එය වීඩියෝගත කරන ගුවන් නියමුවෙකු අනිත් ගුවන් නියමුවාගෙන් මෙසේ අසයි: “ඒ දේ බලන්න මචං! ඒක භ්‍රමණය වෙනවා!”

2017 දී නාඳුනන වස්තුවක් දුටු එක් ගුවන් නියමුවෙකු සීඑන්එන් වෙත පවසා ඇත්තේ එය පැහැදිලි කළ නොහැකි ආකාරයෙන් ගමන් කළ බවයි. “මම එයට ළං වෙත්ම එය දකුණට වේගයෙන් ගමන් කළ අතර තත්පර දෙකකටත් අඩු කාලයකින් අතුරුදහන් විය” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණි.

අදාළ වීඩියෝපට හා ඒවා මුදාහැරීම ගැන පෙන්ටගනයේ මතය හා අපේක්ෂාව කුමක්ද?

පෙන්ටගනය සිය නිවේදනයේ මෙසේ සඳහන් කර ඇත: “සවිස්තරාත්මක සමාලෝචනයකින් පසුව, මෙම වර්ගීකරණය නොකළ වීඩියෝ පටවල නිල හා තහවුරු කළ නිකුත් කිරීමක් මගින් කිසිදු සංවේදී හැකියාවක් හෝ පද්ධතියක් හෙළි නොකරන බවත්, හඳුනා නොගත් හමුදා ගුවන් අභ්‍යවකාශ ආක්‍රමණ පිළිබඳ පසුකාලීනව සිදුකරන කිසිදු ගුවන් සංසිද්ධි විමර්ශනයකට බාධාවක් නොවන බවත් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ”.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් වීඩියෝපට නිකුත් කරමින් කියා සිටින්නේ අදාළ වීඩියෝපට නිකුත් කරනු ලබන්නේ මහජනතාවට එම සංසරණය වී ඇති දර්ශන පිළිබඳව සත්‍ය අසත්‍යතාවය දැනගැනීමටත් හා අදාළ වීඩියෝ පටවල ඊට වඩා වැඩි යමක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව සැක හැර දැන ගැනීම සඳහා මෙය නිකුත් කර ඇති බවයි. නමුත් නිරීක්‍ෂණය කරන ලද අදාළ ගුවන් සංසිද්ධි ඇතුළත් වීඩියෝපට තවදුරටත් ‘හඳුනා නොගත්’ ලෙස වර්ගකර තිබේ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මෙතරම් සමාජ අවධානයක් යොමුවන්නේ ඇයි?

මිනිසුන් තුළ පැහැදිලි නොකළ දෑ කෙරෙහි ඇති ඇල්ම හා උනන්දුව කිසි විටෙකත් පහව යන්නේ නැත. UFO සංසිද්ධිය සමහර විට මෙවැනි කථා වලින් වඩාත් ප්‍රබල එකක් විය හැකියි. මෙවනි සිදුවීම් තුළින් අපටත් එහා ගිය ලෝකයන් පිළිබඳ ඇති මිනිසුන් තුළ ඇති අවිනිශ්චිතතාවය හා රජයන් පිළිබඳ ඇති කුමන්ත්‍රණ න්‍යායන්, විශේෂයෙන් එක්සත් ජනපද රජය පිළිබඳ ඇති කුමන්ත්‍රණ න්‍යායන් සමඟ සම්බන්ධ කරයි. එනම් රජයන් විසින් රහස් මෙහෙයුම් හා පර්යේෂණ සිදුකරන බවට ඇති මතයන් හා සම්බන්ධ න්‍යායන් තිබේ.

ශතවර්ෂ ගණනාවකට තිස්සේ මිනිසුන් අහස දෙස බලා එහි දිස්වන අද්භූත විදුලි පහන් සහ වස්තූන් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත. නූතනයේ දී යූඑෆ්ඕ කථාව මුල් වූ සිදුවීමක් වාර්තා වන්නේ 1947 දී ගොවියෙකු නිව් මෙක්සිකෝවේ රොස්වෙල් හි මෙවැන්නක සුන්බුන් සොයාගත් විටයි. එය මුලින් පියාසර තැටියක් ලෙස විස්තර කළ නමුත් දැන් එය සෝවියට් සංගමය අධීක්ෂණය කිරීම සඳහා යොදාගත් රහසිගත බැලූන් වැඩසටහනක කොටසක් ලෙස සැලකේ.

පසුව ඇමරිකාවේ නෙවාඩා හි 51 වන ප්‍රදේශය ලෙස හැඳින්වෙන (ඒරියා 51) උසස් ගුවන් යානා සඳහා පරීක්ෂණ කඳවුර, UFO පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට චෝදනා එල්ල විය. කුමන්ත්‍රණ න්‍යායවාදීන්ට අනුව එම ස්ථානය එක්සත් ජනපද රජය විසින් උසස් පිටසක්වල තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සඳහා පර්යේෂණ කරන ස්ථානයක් ලෙස දැකීමට උත්සාහ කළේ මෙහිදීය.

වසර ගණනාවක් පුරා මේ සම්බන්ධයෙන් ඇති වූ බොහෝ විදේශීය න්‍යායන් නිෂ්ප්‍රභ වී ඇත. නමුත් අවසානයේ දී 2017 වසරේදී පෙන්ටගනය පිළිගත්තේ තමන් සතුව හඳුනානොගත් පියාසර වස්තු සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන දීර්ග කාලීන වැඩපිළිවෙළක් තිබූ බවයි. එහෙත් එය නවතා දමා ඇතැයිද කියා සිටියා.

මේ වන විටත් එක්සත් ජනපද නාවික හමුදාව මෙම පැහැදිලි කළ නොහැකි දර්ශන “හඳුනා නොගත් ගුවන් සංසිද්ධි” ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වයි. නමුත් එය අපගේ සාමූහික උප සවිඥාණිකත්වයට ඇතුල් වී ඇති මූලික ගැටළුවට පිළිතුරක් දීමට සමත් වී නැ. අපට ඇති මුලීක ප්‍රශ්නය තවමත් එසේය: විශ්වයේ අප සැබවින්ම තනිවම සිටිනවාද?

බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරින්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top