දේශීය පුවත්

ඇඳිරි නීති බලපත්වල වලංගු කාලය දීර්ඝ කරයි

අප්‍රේල් මස 30 වන දින කල් ඉකුත් වන ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි මස 31 වනදා තෙක් දීර්ඝ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. නමුත්, සාමාන්‍ය රාජකාරි සඳහා ඇඳිරි නීති බලපත්‍ර අලුතින් ලබාගැනීම අනිවාර්ය වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

එමෙන්ම, වැලිකඩ පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයින් 48 දෙනෙක් පොලිස් භාරයට ගෙන ස්වයං නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන් බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි වතු සහ මහල් නිවාස ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ සිදුවීම් වාර්තා වූ බවත් ඉන් බහුතරයක් මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් ආශ්‍රයෙන් වූ බවට තොරතුරු හෙළිව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. මේ හේතුවෙන් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් මහජනතාවට ඒ ගැන පොලිසියට දැනුම් දෙන ලෙසද ඉල්ලීමක් ද සිදු කළේය.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 41,557ක් වන අතර සමස්ත වාහන ගණන 10,719ක් වේ. ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ දී නීතිවිරෝධී මත්පැන් පෙරීම, විකිණීම ආදිය සම්බන්ධයෙන් පුද්ගලයින් 25,000 කට ආසන්න පිරිසක් ද, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 9200 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්කවල පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය ලෙස 07 සහ 08 සඳහන්ව ඇත්නම් ඔවුන්ට අප්‍රේල් මස 30 වැනි දිනයේ අත්‍යවශ්‍ය සේවා සපයාගැනීම සඳහා නිවසින් බැහැරට යාමට ඉඩ සැලසෙයි. කොළඹ ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04හි ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 5.00 දක්වා අඛණ්ඩව බලපැවැත්වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top