බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් පුතෙක් බිහි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මවත් දරුවාත් සුවෙන් පසුවන බවයි.
තවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා වෛරසය වැළදි සුවය ලබා සිටින අගමැතිවරයා ද ඇය දරුවා බිහි කරන අවස්ථාවේදී ලන්ඩනයේ පිහිටි එන්.එච්.එස් රෝහල වෙත පැමිණ ඇති බවයි. නමුත් මේ වන විට අගමැතිවරයා ඩව්නිං වීදියේ රාජකාරි සඳහා වාර්තා කර ඇති බවත් මේ වසර අගදී ඔහු විසින් පීතෘ මූලික නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට මෙම යුවළට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙකුගෙන් සුභ පැතුම් ගලාගෙන එන අතර බොරිස් ජොන්සන්ගේ පියා බී.බී.සී පුවත් සේවයට පවසා තිබුණේ ඔහුගේ මුණුබුරාගේ උපත ගැන තමන් අතිශය සතුටට පත් වන බවයි.
55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හා 32 හැවිරිදි කැරී සීමන්ඩ්ස් මාර්තු මාසයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ කැරී සීමන්ඩ්ස්ට දරුවෙකු පිළිසිඳගෙන ඇති බවත් මේ වසර අග දී ඔවුන් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ය. එසේම මෙම දරුවා සීමන්ඩ්ස් මෙනවියගේ පළමු දරුවා වන අතර අගමැතිවරයාට තවත් දරුවන් පස්දෙනෙකු සිටියි.
බොරිස් ජොන්සන්ගේ පළමු විවාහය 1987 වසරේ දී ඇලීග්‍රා මොස්ටි-ඕවන් සමග සිදුවූ අතර 1993 දී ඔවුන් දෙදෙනා වෙන් වී තිබෙනවා. ඉන් දින 12කට පසු මරීනා වීලර් සමග විවාහ වන අතර ඉන් සති 5කට පසුව ඔවුන්ගේ පළමු දරුවා බිහි වී තිබෙනවා. ඔවුන් දෙදෙනාට ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙක් ලැබී තිබෙනවා. ඉන් පසු බොරිස් ජොන්සන්ට ප්‍රේම සබඳතා කිහිපයක් පැවති බවට මාධ්‍ය විසින් විවිධ තොරතුරු වාර්තා කර තිබීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් ඔහුට සිටින දරුවන් ප්‍රමාණය සම්බන්ධයෙන් අධිකරණයකදී පවා ප්‍රශ්න කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා. මේ අතර 2018 වසරේ දී බොරිස් සහ වීලර් ප්‍රකාශයට පත් කර ඇත්තේ තමන් මාස කිහිපයකට පෙර වෙන් වූ බවයි. ඒ අනුව 2019 වසරේ සිට බොරිස් ජොන්සන් ජීවත් වී ඇත්තේ කැරී සීමන්ඩ්ස් සමගයි.

