,
News

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන බව කියන පරීක්ෂණයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ නිලංග පෙරේරා විසින් හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අප්‍රේල් 29 දින අදාළ පෙත්සම ගොනු කර ඇති බවද සඳහන්.

ජනාධිපතිවරණය සමයේ මන්නාරම ප්‍රදේශයේ දී ලංගම බස්රථ මගීන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හෝ දැනට පවතින තත්ත්වය තුළ කුමන පදනමක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න තත්වයක උද්ගතව තිබෙන බවද එම පෙත්සම හරහා ඔහු කියා සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා එම දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවාපතිරණ ඇතුලු හත්දෙනෙකු නම් කර ඇත.

අදාළ පෙත්සම මගින් හිටපු අමාත්‍යවරයා, එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්, එතෙක් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Rivira Ads
To Top