කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම් බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා අප්‍රේල් මස 29 වැනි දින සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ.
“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. ජනාධිපතිතුමා සමග සුහද සාකච්ඡාවක නිරත වූ වැඩබලන තානාපතිවරයා චීන කියමනක් උපුටා දක්වමින් “සැබෑ මිත්‍රත්වය සැපතේදීත්, විපතේදීත් එකට සිටීමයි” සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තම රට අරබයා අනුගමනය කළ එකී පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥවන බව ඔහු පවසා තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බව වෙයි මහතා අවධාරණය කර ඇති අතර පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇතැයි හූ වෙයි මහතා සඳහන් කර ඇත.
එසේම, රබර් – සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය සිහිපත් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගැටුම පැවති අවධියේත්, ගැටුම නිමාවී ආර්ථික සංවර්ධනය ආරම්භ කළ විටත් චිනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණැයි සඳහන් කර තිබේ.
කොවිඩ්-19 වසංගතය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් හානිකර ප්‍රතිඵල උදාකර ඇතැයි ද විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව ද ජනාධිපතිතුමා එහිදී පවසා තිබේ.
ලෝක ආර්ථිකය අඩාලවීම නිසා ඇගළුම් කර්මාන්තයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමි වී ගොසිනි. ආර්ථික පසුබැසීම යථා තත්ත්වයට පත්වීමට තව කල් ගතවිය හැකිය. ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇතැයි කී ජනාධිපතිතුමා එය සාර්ථක කර ගැනීමට මිතුරු රටවල උදව් අපේක්ෂා කරන බවත් පවසා තිබේ.
“අපේ එකම අපේක්ෂාව ණය හෝ මූල්‍යාධාර ලබා ගැනීම නොවේ. නිෂ්පාදන වර්ධනයට දායක වන අයුරින් ආයෝජන ගෙන්වා ගැනීම ප්‍රධාන ඉලක්කයක්. කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ ගණනාවක විදේශ ආයෝජනයට හිතකර ඉඩ ප්‍රස්ථා බහුලයි. ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස චීනය ඇතුළු රටවලට ආරාධනා කරනවා”, ජනාධිපතිතුමා සඳහන් කර ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන වැඩබලන චීන තානාපතිවරයා කළ විමසුමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සමස්තයක් ලෙස ගත් කළ රෝග ව්‍යාප්තිය පාලනය වී ඇතැයි ද පවසා තිබේ. ගත වූ දෙතුන් දින තුළ රෝගීන් සංඛ්‍යාවේ හදිසි වැඩිවීමට හේතු පැහැදිළි කළ එතුමා ඉන් පාඩම් උගෙන නිසි පිළියම් යෙදීමට පියවර ගත් බව සඳහන් කර ඇත.
“ජනාධිපතිතුමනි අප ඔබ සමගයි” වැඩබලන චීන තානාපතිවරයා සුහද කථා බහ අවසානයේ දී පවසා ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි ලූඕ මහතා ද සහභාගී වී ඇත.

