විදේශ

ඇමරිකාවේ කොරෝනා මරණ 60,000ත් ඉක්මවා යයි

Photo - Andrew Kelly/Reuters

දැනට ලෝකයේ කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 60,000 ඉක්මවා ගොස් ඇති අතර එය අවුරුදු 20ක් පමණ කාලයක් පැවති වියට්නාම යුද්ධයේ දී මිය ගිය 58,220ක් පමණ වූ ඇමරිකානුවන් ගණන ද ඉක්මවා යාමකි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව ගත වූ පැය 24 තුළ දි ඇ.එ.ජ. වෛරසය ආසාදිතවූවන් 28,429 ක් වාර්තා වී ඇති අතර මියගොස් ඇති ප්‍රමාණය 2390ක් වේ. සුවය ලැබූ ගණන 147,411ක් වන අතර දැනට 855,492ක් ආසාදිත තත්ත්වයේ පසුවේ.

මේ වන විට, කොරෝනා වෛරසය ආසාදිත වූවන් 1,064,194ක් ඇ.එ.ජ වාර්තා වේ. එය මුළු ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1/3 ආසන්න ප්‍රමාණයක් වේ. ඇ.එ.ජ. වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව්යෝර්ක් නගරයෙන් වන අතර ඒ රෝගීන් 306,158ක් වේ.

වසංගතය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම මේ වන විට ගෙන ඇති බව පසුගිය අප්‍රේල් මස 28 වන දින ඇ.එ.ජ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණි. එමෙන්ම, දිනකට කරනු ලබන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය මිලියන 5 දක්වා වැඩි කිරිමට ද ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී ඔහු සඳහන් කළ ද ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව ඒ වන විටත් ඇ.එ.ජ දිනකට කොරෝනා පරීක්ෂණ මිලියන 5.7ක් එක් දිනකදී සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා දැනට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3,220,346ක් වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 228,236ක් වේ. එමෙන්ම, දැනට පුද්ගලයින් 1,991,754 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන අතර එයින් 59,811 ක් අසාධ්‍ය තත්ත්වයේ පසු වේ. රෝගය ආසාදිත වූවන්ගෙන් මිලියනයකට වැඩි පිරිසක් සුවය ලබා ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top