රසරැස

බොලිවුඩයේ කෘතහස්ත රංගධර රිෂි කපූර් දිවි රඟමඩලින් සමු ගනී, ඔහු ගැන මතක සටහන

Photo - PTI

ප්‍රවීණ බොලිවුඩ් නළු හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු වූ රිෂි කපූර් අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා මුම්බායි හි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ සහෝදර රන්දීර් කපූර් මාධ්‍ය වෙත නිවේදනය කර තිබෙනවා.

67 හැවිරිදි රිෂී කපූර් අසනීප තත්වයක් හේතුවෙන් අප්‍රේල් 29 බදාදා මුම්බායි හි ශ්‍රීමත් එච්එන් රිලයන්ස් රෝහලට ඇතුළත් කර තිබේ. රිෂි කපූර්ට 2018 වසරේ දී පිළිකාවක් වැළඳී ඇති අතර ඉන් අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා වසරකට ආසන්න කාලයක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිටියේය. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඉන්දියාවට නැවත පැමිණීමෙන් පසු කපූර්ගේ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු වී තිබෙනවා. පෙබරවාරි මාසයේදී කපූර්ගේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහුව දෙවරක් රෝහල් ගත කෙරිණි.

තුන්වන පරම්පරාවේ නළුවෙකු ලෙස සැළකෙන රිෂි කපූර්, තවත් ප්‍රවීන නළු රාජ් කපූර්ගේ දෙවන පුත්‍රයා සහ ප්‍රිතිවිරාජ් කපූර්ගේ මුනුබුරා විය. ඔහු ආරම්භ කළේ මේරා නාම් ජෝකර් (1970) හි ළමා කලාකරුවෙකු ලෙසය. ඒ සඳහා ඔහුට ඉන්දියාවේ ජාතික සම්මානය හිමි විය. වැඩිහිටි ප්‍රධාන චරිතයක් ලෙස ඔහුගේ පළමු චිත්‍රපටය 1973 දී බොබී ය. එතැන් පටන් ගත වූ දශක 4ක් තුළ කපූර් චිත්‍රපට 90 කට අධික සංඛ්‍යාවක රඟපෑවේය.

ඔහු අවසන් වරට රංගනයෙන් දායක වූයේ 102 නොට් අවුට් හි අමිතාබ් බච්චන් සමඟයි. ඔහුගේ ස්වයං චරිතාපදානය වන කුල්ලාම් කුල්ලා: රිෂි කපූර් අන්සෙන්සර්ඩ්… හාපර් කොලින්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එය ‘ද හින්දු ලිට් ෆෝ ලයිෆ් 2017’ හිදී එළිදක්වන ලදී.

රිෂි කපූර් මෑතකදී ඔහුගේ මීළඟ ව්‍යාපෘතිය වන හොලිවුඩ් චිත්‍රපටයක් වන ද ඉන්ටර්න් චිත්‍රපටය නැවත නිර්මාණය කිරීමක් ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ බිරිඳ නීතු සහ පුත් රන්බීර් යන දෙදෙනාම රංගනයේ යෙදෙන අතර රන්බීර් කපූර් ද ඉන්දියාවේ සුපිරි නළුවන් අතර සිටී. රිෂි කපූර්ගේ එකම දියණිය රිදීමා ය.

තවත් සුපිරි ඉන්දියානු නළුවෙකු වූ ඉර්ෆාන් කාන් අප්‍රේල් 29 දින අභාවප්‍රාප්ත විය.

ද හින්දු වාර්තාව ඇසුරිනි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top