දේශීය පුවත්

ට්‍රම්ප්ගෙන් චීනයට තවත් චෝදනාවක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ව පරාජය කිරීම සඳහා චීනය අවශ්‍ය ඕනෑම දෙයක් කරනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය වෙත චෝදනා කළා. ඔහු මේ බව සඳහන් කර තිබුණේ ‘රොයිටර්’ පුවත් සේවය සමඟ ධවල මන්දිරයේ දි පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

එමෙන්ම, චීනයට උවමනා කර තිබෙන්නේ නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තමන්ගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බිඩෙන් ජයග්‍රහණය කරවීම බවත් ඔහු සඳහන් කර තිබෙනවා. තවද කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව චීනය ඉක්මනින්ම ලෝකය වෙත අනාවරණය කළ යුතු බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන Geng Shuan මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය වෙත පවසා තිබුනේ, ඔවුන් විසින් ඇ.එ.ජ මැතිවරණය අභ්‍යන්තර ගැටළුවක් ලෙස සලකන බවත් ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන ගැටළු සඳහා චීනය භාවිතා කිරීම නවත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවත් ය.

මේ වන විට, ඇ.එ.ජ ආර්ථික තත්ත්වය වසංගතය හේතුවෙන් ඉතාමත් පසුබෑමකට ලක් වී තිබෙන අතර එරට රජය විසින් නිකුත් කරන ලද අලුත්ම නිල වාර්තාවක සඳහන් වන අන්දමට මේ වසරේ‍ පළමු කාර්තුවේ දී ඇමරිකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.8කින් අඩු වී තිබේ. මෙම ආර්ථික පසුබෑම ඇමරිකානු ඉතිහාසයේ දශකයකට අධික කාලයකට පසු දරුණුතම ආර්ථික පසුබෑම බව එම වාර්තාවේ දැක්වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් රට අගුලු දැමීම නිසා ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 26කට අධික සංඛ්‍යාවකට සිය රැකියාවන් අහිමි වී ගොස් ඇති අතර ඔවුහු සිය රැකියා විරහිතභාවය සඳහන් කරමින් ඇමරිකානු රජය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් මේ වසරේ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවාසි අත් කර දෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top