,
Entertainment

කීර්තිමත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජපානයේ සම්මානයට පාත්‍ර වෙයි

කීර්තිමත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු උදෙසා “The Order of the Rising Sun”
සම්මානය පිරිනැමීමට ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අප්‍රේල් 30 දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියා සිටින්නේ වසන්තයේදී සිදු කරනු ලබන “The Order of the Rising Sun” සම්මානය පිරිනැමීම සඳහා වන සම්මානලාභීන් ජපාන රජය විසින් 2020 අප්‍රේල් මස 29 වන දින ප්‍රසිද්ධියට පත් කරන ලද බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ “ඒ අනුව ජපානයේ අධිරාජ්‍ය උතුමානන් විසින් ජපාන මිත්‍රත්ව සබඳතාවයන් වැඩි දියුණු කිරීම පිණිස අග්‍රගණ්‍ය දායකත්වයන් දක්වන ලද විදෙස් ජාතිකයින් උදෙසා මෙම සම්මානය පිරිනැමීම සිදු කරනු ලබන.” බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන්, පහත නම් සඳහන් ගරු කටයුතු පුද්ගලයින් දෙදෙනා, මෙවර වසන්ත සමය වෙනුවෙන් සිදු කරනු ලබන මෙම ගෞරවාන්විත සම්මානයෙන් බුහුමනට පත්වී ඇති බවත් ඒ අනුව කලා කීර්ති සුමිත්‍රා පීරිස් මහත්මිය, The Order of the Rising Sun Gold and Silver Rays හා සිසිර කුමාර මහතා, The Order of the Rising Sun Gold and Silver Rays සම්මානයට පාත්‍ර වී ඇතැයි නිවේදනය කර තිබේ.

කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක මෙන්ම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් සිදු කරන සම්මාන පිරිනැමීමේ කමිටුවේ සමාජිකාවක ලෙසත්, සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් විශිෂ්ට ලෙස සිනමා කලාව ඔස්සේ දෙරටෙහි ජනතාව සම්බන්ධ කිරීම තුලින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමෙහි ලා නොමැකෙන සලකුණක් තබා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනයේ සුමිත්‍රා පීරිස් මහත්මිය සම්මානයට පාත්‍රවීම සම්බන්ධයෙන් මෙසේද දැක්වේ. “පීරිස් මහත්මිය විසින් කිට්ටුවෙන් ඇසුරු කරනු ලැබූ කුරොසාවා අකිරා මහතාගේ සියුම් සිනමා ශෛලිය ඔස්සේ යමින් නිර්මාණය කරන ලද ඇගේ විශිෂ්ටතම සිනමා කෘතිය වූ “සාගර ජලය” 1990 දී NHK රූපවාහිනී සේවය මගින් විකාශනය කරනු ලැබූ අතර, එය බොහොමයක් ජපන් ජනතාවගේ හදවත් බැඳ ගැනීමට සමත්විය. ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් සිදු කරන සම්මාන පිරිනැමීමේ කමිටුවේ ආරම්භක සමාජිකාවක ලෙස, සුමිත්‍රා පීරිස් මහත්මිය විසින්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇති අතර, මෙම සම්මානයට පාත්‍ර වූ අයෙකු වශයෙන් දිවයින් දෙක අතර සංස්කෘතික බැඳීම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි.”

සම්මානයට පාත්‍ර වී සිටින සිසිර කුමාර මහතා සම්බන්ධයෙන් එම නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය. “ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ගරු සභාපති, සිසිර කුමාර මහතා විසින් ශ්‍රී ලංකාව තුල කරා‌තේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම හරහා ද්වි පාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීමට අමිල දායකත්වයක් ලබා දී ඇත. ක්‍රීඩකයන්ගේ ආධ්‍යාත්මික හා ශාරීරික යන දෙඅංශයේම ගුණාංග වර්ධනය කෙරෙන මෙම ජපාන සටන් කලාව කෙරෙහි පැහැදීමෙන් බැඳුණු කුමාර මහතා විසින් දශක හතරක දීර්ඝ කාලයක් මුළුල්ලේ දිවයිනේ පුරා පාසල් හා විද්‍යාල වල කරාතේ ක්‍රීඩාවේ වටිනාකම ව්‍යාප්ත කිරීම උදෙසා සිය පූර්ණ උත්සාහයන් කැප කර ඇත. ඔහුගේ අනවරත වෑයමින්, අද වනවිට මිලියන භාගයකට නොඅඩු ක්‍රීඩකයින් පිරිසක් බිහිවීම තුලින් කරාතේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වය අතින් ක්‍රිකට් වලට පමණක් දෙවනි වන ක්‍රීඩාව බවට පත්වී ඇත. 2021 ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ නිළ ක්‍රීඩාවක් ලෙස කරාතේ සුදුසුකම් ලැබීමත් සමග, කුමාර මහතා සම්මානයට පාත්‍රවීම ඔස්සේ, ශ්‍රී ලංකාව තුල කරා‌තේ ක්‍රීඩාවේ ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.”

Rivira Ads
To Top