විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී හා හිටපු අමාත්‍ය මංගල සමරවීර අප්‍රේල් 28 දිනැතිව යොමු කළ ලිපියට ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා හරහා අප්‍රේල් 30 දින පිළිතුරු ලිපියක් යවා ඇත.
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකුද ලිපි යොමු කර තිබීම හේතුවෙන් ඔවුන්ටද, හිටපු කතානායක, හිටපු විපක්ෂ නායක ඇතුළු පිරිසකටද පිටපත් සහිතව අදාළ ලිපිය යොමු කර තිබෙනවා.
අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ මංගල සමරවීර විසින් යොමු කළ ලිපිය වැරදි තොරතුරු රාශියක් මත පදනම් වී ඇති බවයි.
මංගල සමරවීර වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.
ගරු මංගල සමරවීර මැතිතුමනි,
උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම.
ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.
එම ලිපියේ අන්තර්ගත කරුණු, වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරීක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත.
එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.
1. ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සදහන් නොවීම.
2. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.
3. 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තිබුණ බව සඳහන් නොවීම
4. රු.බි. 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව
5. ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත් කර නොතිබීම,
6. හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETI වැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව
7. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පනතක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.
ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකා හැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.
එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට, විපක්ෂය සහය දුන් ආකාරයට බෙහෙවින් පටහැනිය.
මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශනයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.
මෙයට, විශ්වාසී, පී.බී. ජයසුන්දර, ජනාධිපති ලේකම්
පිටපත්
- ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
- ගරු සජිත් ප්‍රේමදාස මහතා – හිටපු විපක්ෂ නායක
- ගරු රනිල් වික්‍රමසිංහ මහතා – නායක, එක්සත් ජාතික පක්ෂය
- ගරු කරු ජයසූරිය මහතා – හිටපු කථානායක
- ගරු ආර් සම්බන්ධන් මහතා – නායක, ද්‍රවිඩ ජාතික සන්ධානය
- ගරු අනුර කුමාර දිසානායක මහතා – නායක, ජනතා විමුක්ති පෙරමුණ
- ගරු රවුෆ් හකීම් මහතා – නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
- ගරු රිෂාඩ් බදියුදීන් මහතා – නායක, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය
- ගරු මනෝ ගනේෂන් මහතා – නායක, දෙමළ ප්‍රගතිශිලි සන්ධානය
- ගරු පලනි දිගාම්බරම් මහතා – නායක, ජාතික සේවක සන්ධානය
සම්බන්ධිත පුවත් – මංගල සමරවීර යොමු කළ ලිපිය

