,
Features

කම්කරු දිනයේ ඉතිහාසය තුළින් වර්තමාන කම්කරු දිනය කියවමු

මැයි දිනය වර්තමානයේ දී බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ නිවාඩු දිනයක් ලෙසය. අප රට ද ඇතුලු රටවල දේශපාලන පක්ෂ විසින් තම බලය රැක ගැනීම සහ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඒත්තු ගැන්වීම සඳහා මැයි දිනයේ දී “වැඩ කරන ජනතාව වෙනුවෙන්” යන යෙදුම සහිතව අති විශාල ජන සහභාගීත්වයකින් මැයි දිනය සැමරුව ද එහි ඓතිහාසික අරමුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරනවාද යන්න ගැටලු සහගතය.

මැයි දිනය හෙවත් කම්කරු දිනයේ ඉතිහාසය

දහනව වන ශතවර්ෂයේ අගභාගයේදී කම්කරු පන්තිය “පැය 8ක වැඩ කරන දිනය” ලබා ගැනීම සඳහා නිරන්තර අරගලයක නිරත විය. එකල පැවති සේවා කොන්දේසි දරුණු වූ බැවින් අනාරක්ෂිත තත්වයන් තුළ පවා පැය 10 සිට 16 දක්වා වැඩ කිරීම, වැඩ කරන ජනතාවට සාමාන්‍ය දෙයක් විය. බොහෝ සේවා ස්ථානවල මරණයන් සිදුවීම හා තුවාල සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ අතර එය අප්ටන් සින්ක්ලෙයාර්ගේ “ද ජංගල් සහ ජැක්” ලන්ඩනයේ “ද අයන් හීල්” වැනි පොත් වලට ආභාෂය ද ලබා දුන්නේය.

1860 දශකයේ පටන් වැඩ කරන ජනතාව “වැටුප් කප්පාදුවකින් තොරව වැඩ කරන දිනය කෙටි කිරීම” සඳහා උද්ඝෝෂණ කළ නමුත් 1880 දශකයේ අග භාගයේ දී “පැය 8 වැඩ දිනය” ප්‍රකාශයට පත් කර ගන්නා තුරු ඒ සඳහා ප්‍රමාණවත් තරම් සංවිධානාත්මක කම්කරු ශක්තියක් නොතිබුණි. එය ප්‍රකාශයට පත් කිරීමද හාම්පුතුන්ගේ කැමැත්තෙන් තොරව සිදු වූ නමුත් එය බොහෝ කම්කරු ජනතාවගේ ඉල්ලීම විය.

වැඩ කරන ජනතාව හා සමාජ වාදය

මේ වකවානුවේ දී, “සමාජවාදය” වැඩකරන ජනතාවට අලුත් සහ ආකර්ශනීය අදහසක් වූ අතර, සියළුම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ කම්කරු පන්තිය සතුව ඇති පාලනය පිළිබඳ සමාජවාදය පෙන්වූ මතවාදය වෙත ඇදී ගියහ. කම්කරුවන් මුලින් ම දුටුවේ ධනවාදයේ වාසිය ලැබුවේ ඔවුන්ගේ හාම්පුතුන් පමණක් වන බව හා කම්කරුවන්ගේ ජීවිත ලාභය උපදවීම සඳහා පමණක් යොදා ගන්නා බව ය. සෑම වසරකම පුරුෂයින්, කාන්තාවන් සහ ළමයින් දහස් ගණනින් රැකියා ස්ථානවලදී අනවශ්‍ය ලෙස මිය යමින් සිටියහ. සමහර කර්මාන්තවල කම්කරුවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු විසි ගණනක් තරම් අඩු වූ අතර ඔවුන්ට තමන් මුහුණ දී සිටින අසරණභාවයෙන් මිදීම පිළිබඳ බලාපොරොත්තුවක් හෝ තිබී නැත. සමාජවාදය ඊට විකල්පයක් ඉදිරිපත් කළේය.

කම්කරු අරගලයට සමාජ වාදයේ මැදිහත්වීම

19 වන ශතවර්ෂයේ අග භාගයේදී දේශපාලන පක්ෂවල සිට ගායනා කණ්ඩායම් දක්වා විවිධ සමාජවාදී සංවිධාන බිහි විය. ඇත්ත වශයෙන්ම, බොහෝ සමාජවාදීන් ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාශය මගින් රජයේ නිලයන්ට තේරී පත්විය. එහෙත් නැවතත්, මෙම සමාජවාදීන්ගෙන් බොහෝ දෙනෙක්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ද්වි-පාර්ශවීය දේශපාලන ව්‍යාපාර මගින් පාලනය කරන ලද බව රහසක් නොවේ. එහෙත් දස දහස් ගණන් සමාජවාදීන් සමස්ත දේශපාලන ක්‍රියාවලියම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් එම දේශපාලන ක්‍රියාවලිය දුටුවේ ධනවතුන්ගේ ආරක්ෂාව හැර අන් කිසිවක් ගැන සැළකීමක් නොමැති ක්‍රියාවලියක් ලෙසයි. ඒ හරහා ඔවුන් රට පුරා අරාජිකවාදී කණ්ඩායම් බිහි කළහ. දහස් ගණනක් වැඩ කරන ජනතාව අරාජිකවාදයේ පරමාදර්ශයන් පිළිගත් අතර, එය සියලු ධූරාවලි ව්‍යුහයන් (රජය ද ඇතුළුව) අවසන් කිරීමට උත්සාහ කළ අතර, සේවක පාලිත කර්මාන්තය පිළිබඳ අවධාරණය කළේය.

කම්කරු සංගම් යනු අරාජිකවාදීන් හා සමාජවාදීන් විසින් “පවරා ගන්නා ලද” ව්‍යාපාරයක් යනුවෙන් පැවසීම සාවද්‍ය ය, නමුත් අරාජිකවාදීන් සහ සමාජවාදීන් විසින් කම්කරු සංගම් ගොඩනගා ඇති බව සත්‍ය බව කියැවේ.

1884 දී චිකාගෝ හි පැවති ජාතික සමුළුවේදී සංවිධානාත්මක වෙළඳ හා කම්කරු සමිති සම්මේලනය (පසුව එය ඇමරිකානු කම්කරු සම්මේලනය බවට පත්විය) ප්‍රකාශයට පත් කළේ, “පැය අටක වැඩ දිනය 1886 මැයි 1 සිට නෛතිකව පිළිගන්නා වැඩ කරන දිනයක් වනු ඇති” බවයි.

ඊළඟ වසරේදී, ඇමරිකානු කම්කරු සම්මේලය ඔවුන්ගේ ප්‍රකාශය යළිත් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ වැඩ වර්ජන හා පෙලපාලිවලට ඔවුන් සහාය දෙන බවයි. මුලදී, බොහෝ රැඩිකල්වාදීන් සහ අරාජිකවාදීන් මෙම ඉල්ලීම ඕනෑවට වඩා ප්‍රතිසංස්කරණවාදී ලෙස සැලකූ අතර, වැඩ වර්ජන දියත් කිරීමට සහය පළ කළේ නැත. හේමාකට් සංහාරයට වසරකට පෙර සැමුවෙල් ෆීල්ඩන් අරාජිකවාදී පුවත්පතක් වන එලාම් හි පෙන්වා දුන්නේ “මිනිසෙකු දිනකට පැය අටක් හෝ දිනකට පැය දහයක් වැඩ කළත් ඔහු තවමත් වහලෙකි” යනුවෙනි.

බොහෝ අරාජිකවාදීන්ගේ සැක සංකා තිබියදීත්, වෙළඳ හා කම්කරු සභාව, සමාජවාදී කම්කරු පක්ෂය සහ දේශීය කම්කරු නයිට්වරු විසින් ලක්ෂ දෙකහාමාරකට අධික කම්කරු ජනතාවක් සමග පැය අටක වැඩ දිනය ක්‍රියාත්මක කිරීම සඳහා චිකාගෝ ප්‍රදේශයේ වර්ජනයට සෘජුවම සම්බන්ධ විය. හාම්පුතුන්ට එරෙහිව වැඩි වැඩියෙන් ශ්‍රම බලකාය බලමුලු ගැන්වෙද්දී, රැඩිකල්වාදීන් ද පැය 8 ක දිනය සඳහා සටන් කිරීමට එකඟ විය. අරාජිකවාදීන්ගේ මැදිහත්වීමත් සමඟ, පැය 8 ක දිනයට වඩා විශාල ගැටළු රාශියක් ඇති බව පෙනෙන්නට තිබුණි.

මැයි දිනයට පාදක වූ සිදුවීම හා එහි පසුබිම

1886 මැයි 1 වන දින, එක්සත් ජනපදය පුරා ව්‍යාපාර 13,000 ක සේවකයින් 300,000 කට වැඩි පිරිසක් ඉතිහාසයේ පළමු මැයි දින සැමරුමේදී සිය රැකියාවෙන් ඉවත් වූහ. පැය 8 ක දිනයක් සඳහා සටන් කළ උද්ඝෝෂකයින්ගේ කේන්ද්‍රස්ථානය වූ චිකාගෝ හි 40,000 ක් අරාජිකවාදීන් සමඟ වැඩ වර්ජනයක නිරත වූයේ මහජනතාවගේ ඇස් ඉදිරිපිට ය. ඔවුන්ගේ අවුළුවාලන සුළු කථා සහ සෘජු ක්‍රියාකාරිත්වයේ විප්ලවවාදී දෘෂ්ටිවාදය, වැඩකරන ජනතාව අතර ගෞරවයට පාත්‍ර වී වැලඳගත් අතර එය ධනපතියන් විසින් හෙළා දකින ලදී.

ඇල්බට් පාර්සන්ස්, ජොහාන් මෝස්ට්, ඕගස්ට් ස්පයිස් සහ ලුවී ලින්ග් යන නාමයන් චිකාගෝහි සහ රට පුරා ගෘහයන් අතර වැඩිපුරම උච්චාරනය වූ වචන බවට පත්විය. පෙළපාළි, සංගීත කණ්ඩායම් සහ දස දහස් ගණන් උද්ඝෝෂකයින් කම්කරුවන්ගේ ශක්තිය හා එකමුතුකම විදහා දැක්වුවද පුවත්පත් සහ බලධාරීන් පුරෝකථනය කළ පරිදි ඒ වන විටත් ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇති නොවීය.

මෙම සංඛ්‍යාව 100,000 කට ආසන්න වන තෙක් වැඩි වැඩියෙන් කම්කරුවන් රැකියාවෙන් ඉවත්ව ගිය නමුත් සාමය පැවතුනි. දින දෙකකට පසු එනම් 1886 මැයි 3 වන දින පොලිසිය සහ වැඩ වර්ජකයන් අතර මැක්කෝමික් රීපර් වර්ක්ස් හි පළමුවරට ප්‍රචණ්ඩත්වය ඇති විය.

මාස හයක් තිස්සේ සන්නද්ධ පිංකර්ටන් ඒජන්තයින් සහ පොලිසිය, උද්ඝෝෂණවලට සහභාගී වූ වානේ කම්කරුවන්ට හිරිහැර කර පහර දුන්හ. මෙම කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් “අරාජිකවාදී ආධිපත්‍යය දරන” ලෝහ කම්කරු සංගමයට අයත්ව සිටියහ. මැක්කෝමික් කම්හල අසල කථාවක් අතරතුර, පෙලපාලිකරුවන් දෙසියයක් පමණ වානේ කම්කරුවන් සමඟ උද්ඝෝෂණයට එක් වූහ. පොලිසිය හා වැඩ වර්ජකයන් අතර ඇති වූ තත්වයේ දී පොලිසියට පහර දීම ගල් ප්‍රහාරයක් දක්වා වර්ධනය වෙද්දී පොලීසිය විසින් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. එහිදී අවම වශයෙන් වැඩ වර්ජකයන් දෙදෙනෙකු මිය ගිය අතර ගණනය නොකළ තරම් පිරිසක් තුවාල ලැබූහ.

කෝපයෙන් පිරී සිටි අරාජිකවාදීන් විසින් පසු දින හේමාකට් චතුරශ්‍රයේ දී අමානුෂික පොලිස් ක්‍රියා ගැන සාකච්ඡා කිරීම සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවන ලදී. අයහපත් කාලගුණය සහ කෙටි දැනුම්දීම හේතුවෙන්, පෙර දින සිටි දස දහස් සංඛ්‍යාත ජනයාගෙන් 3000 ක් පමණ ප්‍රමාණයක් පැමිණ තිබිණි. මෙම අවස්ථාවට දරුවන් සිටින පවුල් සහභාගී වූ අතර චිකාගෝ හී නගරාධිපති ද ඇතුළත් විය. පසුව, නගරාධිපතිවරයා රැස්ව සිටි පිරිස වෙත කියා සිටියේ සමූහයා සන්සුන්ව හා පිළිවෙළකට සිටි බවත්, කථික ඔගස්ට් විසින් “කිසිවෙකුට බලහත්කාරයක් හෝ ප්‍රචණ්ඩත්වයක් භාවිතා කිරීමට.. යෝජනා නොකළ.” බව කියා ඇත.

කථාව අවසන් වෙත්ම, පොලිස් පරීක්ෂකයින් දෙදෙනෙකු පොලිසිය වෙත වහාම ගොස්, කථිකයෙකු ගිනි අවුලුවන භාෂාවක් භාවිතා කරන බවට වාර්තා කරමින්, කථිකයාගේ කරත්තය වෙත යාමට පොලිසිය පොළඹවන ලදී. ඒ වන විටත් අඩු ප්‍රමාණයක් බවට පත් වී සිටි රැස්වීමට සහභාගී වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය පටන් ගත් විට, පොලිසිය වෙත එක්වරම බෝම්බයක් විසි කරන ලදී. බෝම්බය විසි කළේ කවුරුන්දැයි කිසිවෙකු නොදන්නා නමුත්, අරාජිකවාදීන් සම්බන්ධයෙන් මෙන්ම පොලිසිය වෙනුවෙන් වැඩ කරන නියෝජිතයින් පිලිබඳ අනුමාන ඇති වී තිබේ.

කෝපයට පත් පොලිසිය සමූහයා වෙත වෙඩි තැබීය. ඝාතනයට ලක්වූ හෝ තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ නිශ්චිත සංඛ්‍යාව කිසි විටෙකත් ගණනය කර නොතිබුණද, ඇස්තමේන්තු කර ඇති පරිදි සිවිල් වැසියන් හත් අට දෙනෙකු මිය ගිය අතර හතළිස් දෙනෙකුවත් තුවාල ලැබූ බව පැවසේ. එක් නිලධාරියෙක් ද එම අවස්ථාවේම මිය ගිය අතර ඉන්පසු සතිවලදී තවත් හත් දෙනෙක් මිය ගොස් ඇත. පසුකාලීන සාක්ෂි වලින් පෙනී ගොස් ඇත්තේ බෝම්බයෙන් එක් පොලිස් මරණයක් පමණක් සිදුවී ඇති බවත් අනෙක් සියලුම මරණ මාරාන්තික පොලිස් වෙඩි තැබීම් හේතුවෙන් සිදුවී ඇති බවත්ය.

අරාජකවාදීන් අට දෙනෙකු (ඇල්බට් පාර්සන්ස්, ඕගස්ට් ස්පයිස්, සැමුවෙල් ෆීල්ඩන්, ඔස්කාර් නීබේ, මයිකල් ෂ්වාබ්, ජෝර්ජ් එංගල්, ඇඩොල්ෆ් ෆිෂර් සහ ලුවී ලින්ග්) අත්අඩංගුවට ගෙන මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් වූ නමුත් හේමාකට් හි සිටියේ තිදෙනෙකු පමණක් වන අතර ඔවුන් තිදෙනා පමණක් බෝම්බ ප්‍රහාරය සිදුවන විට සිට ඇත. ඔවුන්ගේ නඩු විභාගයේ ජූරි සභාව ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත වූ අතර වසර තිහකට පසු සාකෝ-වැන්සෙට්ටි නඩුවට සමානව යුක්තිය සමච්චලයට ලක් කිරීම හෝ හැත්තෑ ගණන්වල AIM සහ බ්ලැක් පැන්තර් සාමාජිකයින්ගේ නඩු විභාගවලට සමාන විය. මෙම සංවිධායකයින් අට දෙනා වරදකරුවන් බවට පත්වීම නිසා මුළු ලෝකයම බලා සිටියේ ඔවුන්ගේ ක්‍රියාවන් නිසා හෝ ඔවුන් සියල්ලන්ම නිර්දෝෂී අය වීම පිළිබඳ හෝ නොවන අතර ලෝකය බලා සිටියේ ඔවුන්ගේ දේශපාලන හා සමාජ විශ්වාසයන් නිසා ය. ආසාර්ථක අභියාචනාවලින් පසු 1887 නොවැම්බර් 11 වන දින පාර්සන්ස්, ස්පයිස්, එංගල් සහ ෆිෂර් එල්ලා මරා දමන ලදී. අධිකාරිය සහ දඩුවම පිළිබඳ රජයේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ලුවී ලින්ග් පෙර දින රාත්‍රියේ සිය දිවි නසා ගත්තේ පුපුරණ ද්‍රව්‍යයක් කටේ තබාගෙනය.

ඉතිරි සංවිධායකයින් වන ෆීල්ඩන්, නීබේ සහ ෂ්වාබ්ට වසර හයකට පසු ආණ්ඩුකාර ඇල්ට්ගෙල්ඩ් විසින් සමාව දෙන ලදී. එම ආණ්ඩුකාරවරයා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ නඩුවේ තීන්දුව දුන් විනිසුරුවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදුණි. හේමාකට් සංහාරයෙන් පසු මහා ව්‍යාපාරිකයින් සහ රජය විසින් රටේ පළමු “රතු බිය” පවත්වන ලදී. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් “අරාජිකත්වය” බෝම්බ හෙලීම හා සමාන කළ අතර අතර “සමාජවාදය” ඇමරිකානු නොවන යමක් බවට පත් කලේය. අරාජිකවාදියෙකුගේ පොදු ප්‍රතිරූපය රැවුල සහිත, නැගෙනහිර යුරෝපීය සංක්‍රමණිකයෙකුගේ රූපය බවට පත් වූයේ එක් අතකින් බෝම්බයක් සහ අනෙක් අතේ කිනිතුල්ලෙකු සමඟ ය.

හේමාකට් දිවි පිදූවන්ගේ මතවාදය සිහි කිරීම සඳහා මැයි දිනය ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස ස්ථාපිත කර දස දහස් සංඛ්‍යාත ක්‍රියාකාරීන් ඔවුන්ව අනුස්මරණය කිරීම අද වන තෙක් සිදුවේ. මැයි දිනය රටවල් 66 ක නිල නිවාඩු දිනයක් වන අතර තවත් බොහෝ රටවල නිල නොවන ලෙස සමරනු ලැබේ. නමුත් මේ වන විට එය ආරම්භ වූ ඇමරිකාව තුළ එය දැකීමට හැක්කේ කලාතුරකිනි.

එම පළමු මැයි දිනයේ සිට වසර සියයකට පමණ වැඩි කාලයක් ගත වූ පසු 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී, එක්සත් ජනපද රජය විසින් මැයි 1 වන දින “නීතිය හා සාමය දිනය” ලෙස නම් කිරීම හරහා සැමරුම් මැඩපැවැත්වීමට හා මහජනතාවගේ මතකයෙන් එය තවදුරටත් අතුගා දැමීමට උත්සාහ කිරීමක් කළේය.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය 1926 වර්ෂය දක්වා දිව යයි. එහිදී හමුවන සුවිශේෂී චරිතයක් වන්නේ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ යි. ඔහුගේ ප‍්‍රධානත්වයෙන් එදා මැයි දිනය, මැයි පෙරහැරක් ලෙස පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දී ඇති බව පැවසෙන අතර එම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු බවද සඳහන් වේ.

වර්තමානයේ මැයි දින කියූ සැනින් බොහෝ ලාංකිකයින්ට සිහි වන්නේ අධික ලෙස බීමත් වූ පිරිස් පාර දිගේ කෑකෝ ගසමින් ද, ගස් උඩ නගිමින්ද, දේශපාලනඥයින්ගේ නම් වලට ජයවේවායි කියමින්ද යන දර්ශනයක් වුවත් 1926 පැවති මැයි පෙරහැර තුළ මත්පැන් පානයද තහනම් වී තිබෙනවා. බොහෝ අය එම අවස්ථාව පිළිබඳ දක්වන්නේ විනය මූලික කරගත් හා නිශ්චිත වශයෙන්ම කම්කරුවන් අරමුණු කරගත් මැයි දිනයක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දීය. ඉතිහාසයේ සඳහන් ව ඇති පරිදි ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය පවත්වා ඇත්තේ 1933 වසරේ දී වන අතර එහි පාගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ද 1947 පමණ වනවිට කම්කරු අරගල එහි උච්චස්ථානයකට පත්වෙමින් තිබී ඇත. ඒ කාලවකවානුව තුළ අරගල කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ බොහෝ දෙනෙකු කම්කරු නායකයන් ලෙස සටන් කිරීමට කටයුතු කර ඇත. 1956 වසරේ දී අග්‍රාමාත්‍ය බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් සන්ධානගතව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ බලයට පත් වීමෙන් පසු රජයේ මැයි දිනය රතු පාටින් හා නිල් පාටින් පැවැත්විය.

ටී.බී. ඉලංගරත්නගේ භූමිකාව

ටී.බී. ඉලංගරත්න යනු 1935 වර්ෂයේ දී ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවය ඇතුළත් වූ අයෙක් වන අතර නිරන්තරයෙන් කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රගතිශීලී පුද්ගලයෙකු වේ. ඒ අනුව වසර 12ක් තුළ ඔහු ලිපිකරු සේවක සංගමයේ සභාපතිවරයා බවට පත් විය. කෙසේ වෙතත් එකල ගාළුමුවදොර පැවැත්වූ දැවැන්ත වෘත්තිය සමිති රැස්වීමක මුලසුන දැරීම හේතුවෙන් රාජ්‍ය සේවයෙන් පහකර තිබේ. ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහෝ විය. ඔවුන් 1947 දී කළ වැඩ වර්ජනයක් අතර තුළ පොලිසිය කළ වෙඩි තැබීමකින් වර්ජකයෙක් මරණයට පත්විය.

පසුකාලීනව එස්.බඩ්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ විට එය ඉහළින්ම වර්ණනා කළ ටීබී, බණ්ඩාරනායක සමග එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමටත්, මහජන එක්සත් පෙරමුණු රජය පිහිටුවීමටත් මූලික වී ක්‍රියාකළේය.

එහිදී 1956 දී මහජන එක්සත් පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසු කැමති අමාත්‍යංශයක් තෝරාගන්නා ලෙස බණ්ඩාරනායකගෙන් ලද ඇරයුමක් අනුව ඔහු තෝරාගත්තේ කම්කරු අමාත්‍යංශයයි.

බණ්ඩාරනායක විසින් එම අමාත්‍යංශය තෝරා ගැනීමට හේතුව විමසූ විට ටීබී ඉලංගකෝ කියා සිටියේ “වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව ප්‍රථම මහා වැඩවර්ජනය දියත් කළ මට, වැඩ කරන ජනතාවගේ දුක හඳුනන මට, වෘත්තීය සමිති සටන පාර්ලිමේන්තුව තුළට ගෙන ගිය මට, සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම නිසාම සේවයෙන් පහකරනු ලැබූ මට, වැඩකරන ජනතාවට සේවය කරන්නට ලැබුණු මෙම අවස්තාව මා සලකන්නේ දෛවෝපගත සිදුවීමක් ලෙස” යනුවෙනි. ඒ අනුව ඔහු විසින් මුලින්ම සිදුකළේ තම සටන් සගයෙකුට ජීවිතය පවා අහිමි වූ ජීවිත පූජාවෙන් සිදුකළ වර්ජනයේ ඉල්ලීම් සියල්ල ලබාදීමයි.

ටී.බී. ඉලංගරත්න විසින් කම්කරු ජනතාව වෙනුවෙන් සිදුකළ කාර්යන් කිහිපයක් මෙසේය.

  • සේවක අර්ථසාධක අරමුදල බිහිකිරීම
  • කම්කරු ආරවුල් පනත සම්මත කරගැනීම
  • සාප්පු සහ කාර්‍යාල සේවක පනත සම්මත කරගැනීම
  • දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබාදීමේ පනත සම්මත කරගැනීම
  • ගැබිණි මවුවරුන්ට තෙමසක් ගතවනතුරු සැහැල්ලු වැඩ ලබාදීම
  • කම්කරු වන්දි පනත සම්මත කර ගැනීම
  • ජාතික වේතන කොමිසම බිහිකිරීම
  • වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහිකිරීම
  • සේවකයින් හිතුමතේ සේවයෙන් පහ කිරීමට තිබු අයිතිය අහෝසි කිරීම

ඒ අනුව අනතුරුව 1956 වසරේ සිට මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස නම් කරන තිබේ.

එහෙත් අද වන විට සැමරෙන කම්කරු දිනය සැබෑ ලෙසම කම්කරු අයිතීන් වෙනුවෙන් සැමරෙන උත්සවයක් ද යන්න පිළිබඳ බොහෝ ගැටළු ඇත. වර්තමානය වන විට එය හුදෙක්ම දේශපාලන පක්ෂවල බලය රැක ගැනීම වෙනුවෙන් අරක්කු ලබා දී පිරිස් ගෙන්වාගන්නා මැතිවරණ රැළියක් බවට පත්ව ඇත. ගාළු මුවදොර පුරවා තම ශක්තිය පෙන්වීම වැනි අරමුණු සහිත තැනකට තල්ලු වී තිබේ. කම්කරු නායකයින් යැයි කියා ගන්නා අය ද වෘත්තීය සමිති නායකයින් යැයි කියා ගන්නා අය ද අද බොහෝ විට සිදු කරන්නේ තම සාමාජිකත්වය පෙන්වා ඊට මිලක් නියම කර ගැනීම නොවේද? ලක්ෂ 200ක පර්මිට් එක ලබා ගැනීමට පාර්ලිමේන්තු යන කම්කරු නායකයෝ සිටින රටක ඔවුන්ව පත් කළ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වන ප්‍රශ්න ගැන හෝ පක්ෂයේ පිල් බෙදීම ගැන කතා කිරීමට මුව විවර කළද තමා නියෝජනය කළ කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන සැබෑවටම හඬ අවදි කර ඇත්ද? ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ තම වෘත්තීය සගයින් මුහුණ දී ඇති ප්‍රශ්න විසඳීමටද? එසේත් නැතිනම් ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසඳන බවට චෝදනා කරමින් දේශපාලන වාසි ලබා ගැනීමටද?

මේවා අද වන විට කම්කරු ජනතාවට මෙන්ම රටේ සියලුම ජනතාවට පැන නගින ප්‍රශ්න නොවේද?

Rivira Ads
To Top