කොවිඩ්-19

ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳ හා ඇඳිරි නීතිය ගැන මැයි 1 නිකුත් කළ නිවේදනය

ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ඇරඹෙන බව මැයි 1 දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටිනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන මැයි 11 වන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලබන බවද එම නිවේදනයේ දැක්වෙනවා. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවද එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකි බවද එම නිවේදනයේ දැක්වේ. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහා මාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල ඒකරාශී වීම නතර කළ යුතුව ඇත. ගමනා ගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි රජය ඉල්ලා සිටී. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බවද අවධාරණය කෙරේ. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණක් බවද එම නිවේදනයේ සඳහන්.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 6 බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදිම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ය.

මේ දිස්ත්‍රික්කවල මැයි 6 බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top