2020 මහමැතිවරණය

ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම හා එහි පසුබිම

මාර්තු 2 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර අප්‍රේල් 25 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනාද බාරගෙන තිබේ. පසුව ඇති වූ තත්වය මත මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කළ අතර පසු ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ විසුරුවා හැර ඇති දිනයේ සිට මාස තුනක් නොඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා අදාළ ඡන්ද විමසීම පැවැත්විය නොහැකි තත්වයක් ඇති වී තිබෙන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම යෝග්‍ය බවයි.

නමුත් ජනාධිපති ලේකම්වරයා ඊට පිළිතුරු ලිපියක් මගින් කියා සිටියේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත් මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීමට කොමිසටම හැකි බවත්, ඒ අනුව කටයුතු කිරීම සුදුසු බවත් ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවයි. එසේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතිව බලයක් නොමැති බවත් එබැවින් එසේ කළ නොහැකි බවත් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ද ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසමට දැන්වීය.

පසුව මැතිවරණ කොමිසම විසින් ජූනි 20 දින මහමැතිවරණය පැවැත්වෙන දිනය ලෙස ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් නොඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වූ අවශ්‍යතාවය ඒ අනුව සපුරාලිය නොහැකි තත්වයක් උදාවිය.

ඒ අනුව මැතිවරණ කොමිසමද ප්‍රකාශ කළේ තෘප්තිමත් නොවන ඕනෑම පාර්ශවයකට අධිකරණය හමුවට යා හැකි බවයි. දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යන බවටද ප්‍රකාශ කර තිබුණි.

පෙත්සම ගැන දැනගත යුතු දේ

මේ තත්වය අතරතුර ජුනි 20 මැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු හා හිටපු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්, නීතිඥ චරිත ගුණරත්න විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ නීතිඥ එම්. ඉෆාත් ෂහාබ්දීන් මගිනි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජික ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ ඇත.

පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ ජුනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම නිකුත් කර ඇති 2072/3 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අදාළ සම්පූර්ණ පෙත්සම පහළින්

Rivira FB Group Rivira Youtube
To Top