,
Covid-19

පරිප්පු සහ සැමන් වෙත පැනවූ අසාර්ථක මිල පාලනය ඉවත් කෙරේ

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළ යාමත් සමග එහි ඍජු සහනය පෙට්‍රල් හා ඩීසල් හරහා ලබා දීම වෙනුවට, රටේ සියලු ජනතාවට එම සහනය මෙවැනි මොහොතක ලබා දිය හැකි ක්‍රමයක් ලෙස හඳුනා ගනිමින් මයිසූර් පරිප්පු සහ සැමන් මිල අඩු කිරීම හරහා ලබා දීමට රජය පියවර ගෙන තිබුණි.

තෙල් මිල අඩු කිරීමෙන් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක එහි වාසිය ජනතාවට නොලැබීම හේතුවෙනුත් එම ඇඳිරි නීති තත්වය හේතුවෙන් එදා වේල හම්බකරන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර අඩු මිලකට ලබා ගත හැකි වනු පිණිසත් අදාළ තීරණය ගෙන තිබුණි.

මාර්තු 17 දින ජනාධිපතිවරයා ජාතිය අමතමින් කොරෝනා මර්දනය හමුවේ ජනතාවට ලබාදුන් සහන පැකේජයේ එක් සහනයක් ලෙස මෙම මිල පාලනය ද ඇතුළත් කර තිබුණි.

ඒ අනුව මාර්තු 17 දින 2167/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් කිලෝවක් රු. 130ක පමණ පැවති පරිප්පු කිලෝවක් රු. 65ක් දක්වාත්, රු. 200යේ සිට ඉහළ මිල ගණන්වලට පැවති ටින් මාළු ග්‍රෑම් 400ක් රු. 100ක් දක්වා අඩු කරමින් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය කටයුතු යොදා තිබුණි.

එය අති අසාර්ථක තීරණයක් වූයේ වෙළෙඳුන් විසින් පරිප්පු හා සැමන් වෙළඳපොලෙන් සැඟවීමත්, ඒ හරහා කළුකඩ මිලක් නිර්මාණය කිරීමත් හරහා ය. මේ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය ද නිරත්නර වැටලීම් සිදුකළ ද අවසානයේ ඔවුන් ඉදිරිපිට පවා වැඩි මිලට විකුණන බව වෙළෙඳුන් පිළිගත්තේ රු.65කට පරිප්පු කිලෝවක් ලබා දිය නොහැකි බව පවසමිනි.

සුපිරි වෙළඳසැල්වලද මෙම පාලන මිල ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් සහන ලබා දී තිබූ අතර පරතරය පියවීම සඳහා රජයෙන් මුදල් ගෙවා තිබුනි. නමුත් මේ සියලු තත්වයන් යටතේ පරිප්පු සැමන් ලබා ගැනීමට සීමා පනවා තිබූ අතර එක් වරකට එක් පුද්ගලයෙකුට ලබා ගත හැකිවූයේ එක් සැමන් ටින් එකක් සහ පරිප්පු කිලෝ එකක් වැනි ප්‍රමාණයකි.

ඒ තරම් දුරට එම මිල පාලනය අසාර්ථක වටපිටාවක එම තීරණය වෙනස් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 30 සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිල සීමාව නියම කළ ගැසට් පත්‍රයෙන් මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු(සැමන්) ඉවත් කර ඇති බව ප්‍රකාශයට පත් කර තිබේ.

Rivira Ads
To Top