කොවිඩ්-19

“මධ්‍යම සංස්කෘතික අර්මුදල වියදම් කළා වගේ මහා භාණ්ඩාගාරෙන් වියදම් කරන්න බෑ” අගමැති මහින්ද

පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත්, ලැබෙන විදෙස් ආධාර වියදම් කරන ආකාරය පිළිබඳවත්, රාජ්‍ය මුදල් වැය කිරීමට ඇති බලය පිළිබඳවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින් සිදුකරන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැයි 3 දින විශේෂ මාධ්‍ය නිවේදනයක් හරහා පිළිතුරු දී තිබේ. විපක්ෂයේ පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් අගමැතිවරයා විසින් කැඳවා ඇති රැස්වීමට සහභාගී නොවන බව දන්වා ඇති අතර අගමැතිවරයා නිවේදනය මගින් කියා සිටින්නේ කොරෝනා උවදුර පසෙක තබා ඔවුන් දේශපාලනය කතා කරන බවයි.

එම ලිපිය මගින් වැඩිදුරටත් අගමැතිවරයා අවධාරණය කරන්නේ යහපාලන රජයේ ඇමතිවරුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇති මුදල් වියදම් කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වියදම් කළ නොහැකි බවයි. එමෙන්ම විපක්ෂයේ මේ සම්පූර්ණ ක්‍රියාදාමය තුළ ඇත්තේ ආණ්ඩුව පරාජය කරවීමේ සැළසුමක් බවද අගමැතිවරයා පෙන්වා දෙයි. යළි පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා කොරෝනා මර්දන ක්‍රියාවලිය අඩපන කර ඒ ඔස්සේ ආණ්ඩුව පිරිහීමට ලක්කර ඉදිරි මැතිවරණයේ දී දේශපාලනික වාසි ලබා ගැනීම විපක්ෂයේ අරමුණ වී ඇති බවද අගමැතිවරයා පෙන්වා දී තිබේ.

එසේම මහමැතිවරණය කැඳවූ දිනය වන විට ශ්‍රී ලංකාවේ කිසිඳු කොරෝනා ආසාදිතයෙකු නොසිටි බවත් මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් සති එකහාමාරකට පසුව පළමු ආසාදිතයා වාර්තා වූ බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණ දිනය කල් දමා ඇති බවත් සෞඛ්‍ය අංශවල වාර්තා අනුව තවදුරටත් කල් දමා දිනයක් නියම කරනු ඇති බව දැනටමත් කියා ඇති බවත් පෙන්වා දෙන අගමැතිවරයා කියා සිටින්නේ මැතිවරණය සුදුසු දිනයක පැවැත්වීම මැතිවරණ කොමිසම විසින් සිදුකරනු ඇති බවයි.

සම්පූර්ණ නිවේදනය පහතින්.

කොරෝනා උවදුර පසකෙ තබා දේශපාලනය කතා කිරීම

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්දන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්දන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්, දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත. ලංකාවේ කොරෝනා මර්දන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්‍ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යලිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරෑපය බිඳ දැමීම විපක්‍ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය.

කොරෝනා උවදුර ඒමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මේ යහපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි බහුතරය පාවිච්චි කොට ආණ්ඩුවේ පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැලැක්වීම තුළින් රටේ පොහොර හා බෙහෙත් හිඟයක් ඇතිකොට අලුත් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට දැරූ උත්සාහය මුලු රටම දුටුවේය. දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වෙන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට රටේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වැය කිරීමට බලය පවරා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති ආණ්ඩුව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත නොකර තිබෙන අවස්ථාවක පමණක් බවයි. කලින් පැවති යහපාලන ආණ්ඩුව 2020 අප්‍රේල් 30 වෙනිදා දක්වා අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණු නිසා, අප්‍රේල් 30 වෙනිදායින් පසු ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලයක් නැතැයි ඔවුන් තර්ක කරයි.

මෙය විකාර ස්වරූපී තර්කයකි. ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. අදාල කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ, කොරෝනා මර්දනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි. ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාල පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමතිවරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක.

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු, පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය. මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය. කොරෝනා රෝගීන් සෙවීමේ මෙහෙයුමට එකතු වීම හේතුවෙන් නාවුක හමුදාවේ ඇති වූ කොරෝනා පොකුරේ තරම අපි කවුරුත් දුටුවෙමු. ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරමි. අපේ සෞඛ්‍ය සේවකයන්, යුද, නාවුක, ගුවන් හමුදාව, පොලීසිය ඇතුලු මේ සටනේ පෙරමුණේම සිටින පිරිස් ජනතා සේවය වෙනුවෙන් මොන තරම් අවදානමක් දරණවාද යන්න කාටත් පැහැදිලිවේ. මේ විරුවන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට අපි කවුරුත් උපරිම සහයෝගය දැක්විය යුතුය යන කාරණයත් මම මෙහිදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

Rivira FB Group Rivira Youtube
To Top