,
Covid-19

“වෛරසය සමග ජීවත් වීමේ නිවැරදි ක්‍රමය අප සොයාගත යුතුයි” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මැයි මස 11 වනදා වන විට කොරෝනා (කොවිඩ් -19) තත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කල බවට මැයි 03 දින ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුනත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී “නාවික හමුදා පොකුරේ” ආසාදිතයින් වාර්තා නොවුනහොත් සහ අනපේක්ෂිත සිදුවීමක් නොවුනහොත්, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නව ආසාදිතයින් වාර්තාවීම අඩු වීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් සුබවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

වැලිසර නාවික හමුදා කඳවුර තුල සිටි සෙබලුන් සහ නිවාඩු ලබා ගොස් සිට නැවත ගෙන්වාගත් සෙබලුන් සියලුම දෙනාගෙන් පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවෙන් සාම්පල ලබාගෙන අවසන් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම නිවේදනය ඔස්සේ කියා තිබෙනවා.

එමෙන්ම මැයි 02 දිනයේ ශ්‍රී ලංකාව තුල පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාගත ප්‍රමාණයක් සිදුකර තිබේ. එනම් 1681 කි. මෙයින් 698 ක්ම සිදුකර තිබෙන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වන අතර එම පරීක්ෂණ 689න්ම ආසාදනය වී තිබෙන බව ප්‍රතිඵල අනුව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් වීම විශේෂත්වයක් බවද පෙන්වා දෙයි.

මේ වන විට කොවිඩ්-19 නව ආසාදිතයින් වාර්තාවීම අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද එම නිවේදනයේ සඳහන්. එසේම සමාජයෙන් වාර්තාවන (එනම් නාවික හමුදා සෙබලුන් හා ඔවුන්ගේ ස්පර්ශකයින් හැර) රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු අගයක් ගන්නා බවද ඔහු කියා සිටී.

මේ වන විටත් කිසිසේත්ම කිසිදු රෝහලක රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටිනවා. IDH රෝහලේ පසුගිය දිනක සිදුවූ තාවකාලික තත්වයට හේතුව වූයේ නාවික හමුදාවේ රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින්ද රෝහල් ගත කිරීම නිසා ඇති වූවකි. එහෙත් එහිදීද සිදු වූයේ සමස්ත රෝහලේම ඇඳන් සංඛ්‍යාවට වඩා කොවිඩ්-19 රෝගීන් හා ආසාදිත බවට සැකකරන අය ඇතුලත්වීම නොවන අතර වෙනත් රෝග සදහාද ප්‍රතිකාර ගන්නා අය වෙනුවෙන්ද රෝහලේ විශාල ඉඩක් වෙන්කර තිබීම බවද එම නිවේදනයේ සඳහන්.

මැයි මස 11 වනදා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ වන්නේ නම් එහිදී පැවතිය යුතු ආකාරය පිලිබද මාර්ගෝපදේශ අදාළ ආයතන හා පුද්ගලයින් වෙත මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබෙන බව ඔහු කියා සිටී. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්ද (www.health.gov.lk) මෙම මාර්ගෝපදේශ සංග්‍රහය බා ගත(download ) කරගත හැකි බව එම නිවේදනයේ සඳහන්.

සුවිශේෂී අවස්ථාවල මේවාට අනුකූලව තම ආයතනවලට ක්‍රමවේද සකස් කර ගත හැකි බවද එම නිවේදනයෙන් කියා සිටී. මීට අමතරව තවත් අංශ වලට අදාලව එම අංශ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ මාර්ගෝපදේශ ඉදිරියේදී කඩිනමින් සකස් කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

මේ වෛරසය තව දුරටත් අප අවට ගැවසෙනු ඇති බවත්, කළ හැකි වන්නේ වෛරසය සමග ජීවත් වීමේ ක්‍රමය නිවැරදිව සොයා ගැනීම බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් රට විවෘත වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුලුව සෞඛ්‍ය උපදෙස් නිරන්තරව සියලු දෙනා පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලිත් අවධාරණය කරයි.

Rivira Ads
To Top