– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි
ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද මුහුණ දී සිටින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට සති හයකට ආසන්න කාලයක් මෙරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා සිය ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු පීඩාවට ලක්වී සිටින අතර මේ තුළින් වඩාත් පීඩාවට ලක්වී සිටින්නේ එදාවේල හරි හම්බ කරගත් කුලී වැඩ කරන ජනතාව සහ ස්වයං රැකියා කරන ජනතාවයි.
මේ නිසා, මිලියන 04 කට ආසන්න වැඩකරන ජනතාවක් නියෝජනය කරන මෙම අඩු ආදායම් ලාභී ජන කණ්ඩායම වෙනුවෙන් අර්ථවත් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර එවැන්නක් නිසි පරිදි සිදු නොවුණහොත් එය රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින කොවිඩ් -19 ට එරෙහි සටනටද බාධාවක් විය හැකිය. මෙම ජනතාව වෙනුවෙන් මා විසින් යෝජනා කරන මෙම ජනතා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 45.5 ක පමණ මුදලක් වැයවනු ඇති අතර පවතින තත්ත්වය අනුව මෙය කොපමණ කාලයක් දක්වා ලබාදිය යුතුදැයි ඉදිරියේදී තීරණය කළ යුතුය. මේ අවස්ථාවේ මෙම සමස්ත මුදලම රජය විසින් වියදම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර මින් කොටසක් පමණක් වියදම් කළ හැකිය. නමුත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් මෙම ජනතාව කබලෙන් ලිපට වැටී ඇති කාල සීමාවේදී ඔවුන්ගේ ජීවිකාව ගෙන යාමට ප්‍රමාණවත් මුදලක් මෙම සහන වැඩසටහන මගින් ලබාදීම ඉතාමත් වැදගත් වේ.
ලිපියේ අරමුණ
මෙම කෙටි ලිපියේ අරමුණු දෙකකි. එහි පළමු වැන්න වන්නේ කොවිඩි -19 වසංගත තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට අඩු ආදායම් ලාභී ජනතාවගේ ආර්ථිකය කඩා වැටී ඔවුන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටී ඇති ආකාරය විග්‍රහ කිරීමයි. දෙවැන්න වන්නේ පවතින ආදායම් තත්ත්වය තුළදී මෙම ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාමට අර්ථවත් සහන වැඩපිළිවෙලක් යෝජනා කිරීමයි. මේ සියල්ල කෙටි කාලීන සංසිද්ධීන් වන අතර මධ්‍යම කාලයේ සිට නැවතත් ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීම හෙවත් කොවිඩ් -19 වසංගතය
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ආර්ථික තත්ත්වය විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ කොවිඩ් -19 වසංගත තත්ත්වය එන්නටත් පෙර සිටම මෙරට බොහෝදෙනකු ආර්ථික අපහසුතා වලින් පීඩා විඳි බවයි. එය රහසක් නොවන අතර අපි සියලුදෙනාම ඒ බව හොඳින් දනිමු. මෙම වසංගත තත්ත්වය නිසා දිගුකාලයක් ඇඳිරි නීතිය පනවා රට ආරක්ෂාකර ගැනීමට සිදුවීම නිසා මෙම අඩු ආදායම්ලාභී කණ්ඩායම කබලෙන් ලිපට වැටුණු අතර ඔවුන්ට එදිනෙදා ආහාර පාන සපයා ගැනීම පවා මේ වනවිට අර්බුදයක් බවට පත්වී තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේදී නිකුත් කර තිබෙන ගෘහ ඒකක ආදායම සහ වියදම පිළිබඳ සමීක්ෂණයේ දත්ත මගින් අනාවරණය කර තිබෙන්නේ මෙරට පවුල් වලින් අවම ආදායම ලබන දශමක පහ හෙවත් අඩකට ආසන්න ප්‍රමාණයකට සිය මාසික වියදම් සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවයි. ඒ බව පහත වගුව මගින් පෙන්වා ඇත.
ගෘහ ඒකක මධ්‍යන ආදායම සහ මධ්‍යන වියදම සැසඳීම මගින් මෙම අවාසනාවන්ත යථාර්තය අවබෝධ කරගත හැකිය.
වගුව 01: 2016 වසරේ මධ්‍යන ගෘහ ඒකක ආදායම් දශමක තුළ සාමාන්‍ය මාසික මධ්‍යන ගෘහ ඒකක වියදම සැස ඳීම

2016 වසරේ සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම වගුවෙන් පෙන්නුම් කරන්නේ මෙරට ගෘහ ඒකක වලින් 50% ක් හෙවත් අඩකට ආසන්න ප්‍රමාණයක ජීවත්වන ජනතාවට තම පවුලේ මාසික ආදායමින් තම පවුලේ මාසික වියදම පියවා ගැනීමට එම ආදායම ප්‍රමාණවත් නොවූ බවයි.
ඇත්ත වශයෙන් මෙරට පොහොසත් 20% ක පිරිස සමස්ත ගෘහ ඒකක ආදායමින් 51% ක් භුක්ති විඳින විට මෙරට දුප්පත්ම 20% ක පිරිසකට බෙදීගොස් තිබෙන්නේ 5% ක තරම් සොච්චම් ආදායමක් පමණි.
මෙම සමීක්ෂණය මගින් තවදුරටත් අනාවරණය කර තිබෙන්නේ මෙරට කුටුම්බ වලින් 60% ක්ම ණයවී සිටින බවයි. මේ අනුව, නාගරික කුටුම්බ වලින් 50% ක්, ග්‍රාමීය කුටුම්බ වලින් 61% ක් සහ වතු කුටුම්බ වලින් 73% ක් ණය උගුලේ හිරවී තිබෙන බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තුවේ දත්ත මගින් අනාවරණය කර ඇත. ගහෙන් ඇන්න මිනිහාට ගොනා ඇන්නා වගේ යැයි කතාවක් තිබෙන අතර මෙම දත්ත වලින් පෙන්නුම් කරන්නේද එයටම සමාන කතාවකි. එනම්, එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන මෙරට අඩු ආදායම් ලාභී කණ්ඩායමට ණය බරද පීඩාවක් එල්ලකර තිබෙන බවයි.
මා විසින් සිදුකරන මේ විග්‍රහයේ ඇතුළත් වන්නේ කොවිඩ් -19 වසංගත තත්ත්වයට පෙර මෙරට කුටුම්බ වලින් හරි අඩකට ආසන්න පිරිසක් ගෙවූ ජීවිතයේ ස්වභාවයයි. මෙම සමීක්ෂණයෙන් පසුව 2020 දක්වා කාලය තුළදී රාජ්‍ය සේවකයින්ගේ සහ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම නිසා මේ තත්ත්වයේ යම් වෙනසක් සිදුවී තිබෙන්නට පුළුවන. නමුත්, සමස්තයක් ලෙස මෙරට ගෘහ ඒකක වලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් -19 වසංගතය එන්නට පෙර සිටම ගෙවූ ජීවිතයේ ස්වභාවය මෙයයි.
කොවිඩ් -19 ඇඳිරි නීතිය මෙරට ගෘහ ඒකක වලට බලපාන හැටි
ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිව්වන කාර්තුවේදී සිදුකළ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව මෙරට මිලියන 8.2 ක ජනතාවක් සේවා නියුක්තව සිටින අතර මොවුන්ගෙන් මිලියන 2.2 ක් පමණ කෘෂි කාර්මික අංශයේත් තවත් මිලියන 2.2 ක් පමණ කර්මාන්ත අංශයේත් තවත් මිලියන 3.8 ක් පමණ සේවා අංශයේත් සේවා නියුක්තව සිටී.
මීට අමතරව, ශ්‍රම බලකාය බෙදා දැක්වීමේ තවත් අර්ථවත් ක්‍රමයක් තිබේ. එනම්, මෙරට සේවා නියුක්ත මිලියන 8.2 කට ආසන්න ප්‍රමාණයෙන් මිලියන 3 ක පමණ ශ්‍රමිකයින් මාසික වැටුපක් ලබාගනී. තවත් මිලියන 2.6 ක පමණ පිරිසක් ස්වයං රැකියා කරන අතර තවත් මිලියන 1.7 ක පමණ පිරිසක් එදාවේල හරි හම්බ කරගනී.
ඇඳිරිනීතිය සැපයුමට මෙන්ම ඉල්ලුමටත් බලපායි
කොවිඩ් -19 ආර්ථික බලපෑම සැපයුම් අංශයට මෙන්ම ඉල්ලුම් අංශයටත් බලපා තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටීම නිසා සැපයුම අඩුවී තිබෙන අතර ජනතාවට වෙනදා මෙන් රිසිසේ වෙළඳපොළට පැමිණිය නොහැකි නිසා ඉල්ලුමද කඩා වැටී ඇත. නමුත්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය සේවා ලෙස භාණ්ඩ අලෙවි කිරීම යම් පමණකට සිදුකරන නමුත් වෙනදා මෙන් වෙළඳපොළ ක්‍රියාත්මක නොවන බව ඕනෑම කෙනෙකු දන්නා කාරණාවකි.
ඇඳිරිනීතිය නිසා පුද්ගලයින් පීඩාවට පත්වන ආකාරය ඔවුන්ගේ රැකියාව සහ ආදායම අනුව වෙනස් වෙයි
මෙම අර්බුදය නිසා ආදායම අතින් යම් කිසි මට්ටමකින් හෝ පීඩාවට පත්වී නොමැති එකම පිරිස වන්නේ රාජ්‍ය සේවකයින් පමණි. මෙරට රාජ්‍ය අංශයේ සේවය කරන මිලියන 1.2 ක් පමණ පිරිසට මෙම අර්බුදය මධ්‍යයේ වුවද බාධාවකින් තොරව සිය මාසික වැටුප හිමිවේ.
මේ අතර, සාම්ප්‍රදායික පුද්ගලික අංශයේ සේවය කරන මිලියන 1.8 ක් පමණ පිරිස අතරින් සැලකිය යුතු පිරිසකට සිය ආදායම යම් යම් කප්පාදු කිරීම් යටතේ වුවද හිමිවනු ඇතැයි උපකල්පනය කළ හැකි අතර පුද්ගලික අංශයේ සිටින ලක්ෂ 2 කට ආසන්න අත්‍යවශ්‍ය සේවකයින්ටද මෙයින් එතරම් බලපෑමක් නැත. නමුත්, මෙම කාණ්ඩයන්ට අයත් නොවන අනිකුත් පිරිස මෙම ඇඳිරිනීතිය හේතුවෙන් තම ජීවිකාව කරගැනීමට නොහැකිව අසරණව සිටින බව නොරහසකි.
මේ අනුව, ව්‍යාපාර අයිතිකරුවන්ගේ සිට එක් එක් ක්ෂේත්‍රවල පිරිස් මෙම තත්ත්වය හමුවේ විවිධ මට්ටම් වලින් පීඩාවට පත්වී සිටී.
නමුත්, මෙරට සිටින ස්වයං රැකියා කරන මිලියන 2.6 ක පිරිසත් එදාවේල හරි හම්බ කරගන්නා මිලියන 1.7 ක් පමණ ප්‍රමාණයත් වර්තමාන තත්ත්වය හමුවේ දැවැන්ත ආදායම් අර්බුදයකට ලක්වී තිබෙන අතර මොවුන්ගෙන් බොහෝ පිරිසකට තම ආහාරපාන සඳහා වියදම් කිරීම පවා අසීරු තත්ත්වයට පත්වී තිබේ.
වියදම සඳහා බලපෑම
පුද්ගලයින් ආහාර සඳහා කරන වියදම ප්‍රතිශතයක් ලෙස ගත්විට ආදායම අනුව වෙනස් වන අතර ඉහළ ආදායම් ලබන පුද්ගලයින් කුඩා ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කරද්දී අඩු ආදායම් ලබන පිරිස සිය ආදායමෙන් ඉහළම ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කරයි. මෙයින් කියවෙන්නේ අඩු ආදායම් ලාභීන්ට ලැබෙන්නේ සොච්චම් ආදායමක් බවත් පොහොසතුන්ට වැඩි ආදායමක් ලැබෙන බවයි. මේ නිසා, අඩු ආදායම් ලාභීන් උපයා ගන්නා මුදලින් ආහාර පාන ටික සපයා ගන්නේද ඉතාමත් අසීරුවෙනි. මොවුන්ට ඉතිරි කිරීමට මුදල් නොමැති අතර මෙවැනි අසීරු අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට මෙම කණ්ඩායමට තමන් සතුව අතිරික්ත මුදලක් නොමැත.
අනිත් අතට මෙම කණ්ඩායම ස්වංරැකියා කිරීම හෝ එදාවේල උපයා ගැනීම සඳහා ණයවී උපකරණ මිලදීගෙන තිබේ. මේ තත්ත්වය හේතුවෙන් මේ දිනවල ආදායමක් නොමැති වුවත් මොවුන්ට ණය සඳහා වාරික ගෙවීම හෝ ලීසිං සඳහා මුදල් ආපසු ගෙවීමට කවදා හෝ සිදුවේ. ආදායමක් නොමැතිව වියදමක් පමණක් තිබෙන වාතාවරණයක් තුළ මෙම කණ්ඩායම කෙතරම් අසරණ වනවාදැයි ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීම අසීරු නොවේ.
අර්බුදයේ ස්වභාවය
මෙවැනි තත්ත්වයක් තුළ ආදායමෙන් වියදම අඩුකළ විට වඩාත්ම අර්බුදයට ලක්වන ගෘහ ඒකක කණ්ඩායම්වල සිට එතරම් අර්බුදයක් නොමැති කුටුම්බ කණ්ඩායම් පළමු රූප සටහන මගින් පෙන්වයි.

උදාහරණයක් ලෙස ශුද්ධ ආදායම අහිමිවීමේ අඩුම අවධානම තිබෙන්නේ මිලියන 1.2 ක් වන රජයේ සේවකයින්ගේ සහ ලක්ෂ 02 ක් වන පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකයින්ගේ වන අතර ඔවුන්ට රජයෙන් සහනයක් ලබාදීමේ අවශ්‍යතාවය අවම මට්ටමක පවතී. නමුත්, මිලියන 1.7 ක් වන එදාවේල හරි හම්බ කරන ජනතාවගේ ආදායම් අහිමිවී යාම දැඩි අවධානමක තිබෙන අතර ඔවුන්ට ජීවත්වීමට මගක් නොමැති තත්ත්වයට පත්වේ. මේ නිසා, ඔවුන්ට ජීවිකාව කරගෙන යාම සඳහා අඩුම ගණනේ සතිපතා මුදල් සහනයක් රජයෙන් අවශ්‍ය වනු ඇත.
කුටුම්බයන්ට අහිමිවී යන ආදායම
පවතින තත්ත්වය යටතේඅඩුම ආදායම් ලාභී කාණ්ඩ දෙකේ ආදායමින් 80% ක් අහිමිවනු ඇතැයි උපකල්පනය කළ හැකි අතර ඊළඟ ආදායම් ලාභී කාණ්ඩ දෙකේ ආදායමින් 60% ක් අහිමිවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. පස්වන ආදායම් ලාභී කණ්ඩායමේ ආදායමින් 50% ක් අහිමිවනු ඇතැයි උපකල්පනය කළ හැකි අතර මෙය ඉතාමත් සාම්ප්‍රදායික ඇස්තමේන්තු කිරීමක් වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. වියදම් අඩුකර ගැනීමේදී අපි උපකල්පනය කරන්නේ අඩුම ආදායම් දශමකයේ සිටින කණ්ඩායමට කිසිම වියදමක් අඩුකර ගත නොහැකි බවත් පිළිවෙලින් පස්වන දශමක කණ්ඩායමට 20% ක වියදමක් අඩුකර ගත හැකි බවයි.
වැඩිපුර දත්ත ලැබීමත් සමග මෙම උපකල්පනය සංශෝධනය හැකිබව සඳහන් කළ යුතුය.
වගුව 02: 2016 HIES ආදායම් දශමක 1–5 දක්වා ගලපන ලද මධ්‍යන මාසික ගෘහ ඒකක ආදායම සහ වියදම

මේ අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ මිලියන 5.25 ක් ඇති තත්ත්වයක් තුළ සෑම ගෘහ ඒකක කාණ්ඩයකම පවුල් 5,25,000 ක් සිටී යැයි උපකල්පනය කළහොත් අර්බුදයට පත් කුටුම්බයන්ට මුදල් සහනයක් ලබාදීම සඳහා මාසිකව රුපියල් බිලියන 45.5 ක මුදලක් වැයවනු ඇත.
මේ අනුව, 2017 මැදිකාලයේ සිට 2020 මැදි කාලය දක්වා සෑම වසරකම 5% ක උද්ධමනය සමග ගැලපීමෙන් තොරව සලකා බැලූවිට අවශ්‍යතා සහිත ගෘහ ඒකක සඳහා මෙම ආදායම් සහනය අඩුම ආදායම් දශමකය වෙනුවෙන් ලබාදීමට රුපියල් බිලියන 9.2 ක්, ඊළඟ ආදායම් දශමකය වෙනුවෙන් රුපියල් බිලියන 11.4 ක් තෙවන ආදායම් දශමකය වෙනුවෙන් රුපියල් බිලියන 9.2 ක් සිව්වන ආදායම් දශමකය වෙනුවෙන් රුපියල් බිලියන 9.0 ක් පස්වන ආදායම් දශමකය වෙනුවෙන් රුපියල් බිලියන 6.7 ක් වැය කිරීමට සිදුවනු ඇත. මෙම උපකල්පනය වඩාත් සරල කළහොත් මෙරට ශ්‍රම බලකායෙන් අඩක් පමණ මෙරට අඩු ආදායම් ලාභී කාණ්ඩ 05 ට අයත් වේ. එනම් සමස්ත ශ්‍රම බලකාය වන මිලියන 08 ක ප්‍රමාණයෙන් මිලියන 04 ක ප්‍රමාණයක් අයත් වන්නේ අඩුම ආදායම් ලාභී කාණ්ඩ 05 තුළටයි. මේ අනුව, මෙම රුපියල් බිලියන 45.5 ක මුදල බෙදාහැරිය යුත්තේ මෙම මිලියන 04 ක් වන ප්‍රජාවටයි. මෙම මුදල උද්ධමනය සමග ගලපා බැලුවොත් එය රුපියල් බිලියන 52.3 ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම පිරිසට මෙම මාසික ආදායම් සහනය කොපමණ කාලයක් ලබාදෙනවාද යන්න තීරණය කළ යුත්තේ ඇඳිරි නීතිය පනවා ඔවුන්ගේ රැකියා කරගෙන යාමට නොහැකි වන කාල සීමාව මතයි. ඔවුන්ට තම රැකියා කරගෙන යාමට නොහැකි කාල සීමාව පුරාම මෙම සහනය යම් කිසි කාල රාමුවක් පදනම් කරගනිමින් ලබාදීම ඉතාමත් වැදගත් වේ.
රජයේ ආදායම සහ වියදම සමග යෝජනා කර තිබෙන ආදායම් ආධාරකය සැසඳීම
2019 වසරේදී රජය විසින් රැස්කර ගත් රුපියල් බිලියන 1,900 ක පමණ සමස්ත ආදායම සමග සැසඳීමේදී මා විසින් යෝජනා කර තිබෙන ආදායම් ආධාරකය සඳහා වැයවන රුපියල් බිලියන 45.5 ක මුදල 2.4% ක පමණ ප්‍රමාණයකි. වියදම පාර්ශවයෙන් ගත්විට 2019 වසරේදී රජය විසින් සිදුකළ රුපියල් බිලියන 2,915 ක් වන වර්තන සහ ප්‍රාග්ධන වියදම් සමග සැසඳීමේදී මෙම වියදම ප්‍රතිශතයක් ලෙස ගත්විට 1.6% ක වියදමකි.තවත් විදිහකින් බැලුවොත් 2019 වසරේදී රජය විසින් රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට වැයකළ රුපියල් බිලියන 686 සමග සැසඳීමේදී මෙම වියදම ප්‍රතිශතයක් ලෙස ගත්විට 6.6% ක වියදමකි.
පවතින විනිමය අනුපාතය සමග සැසඳීමේදී මෙම ආදායම් ආධාරකය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 233 ක් පමණ වැයවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 සහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක සහන ණයක් ලබාදීමට සිටින අතර ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක සහන ණයක් ලබාදීමට එකඟ විය. ඒ අනුව බැලූ විටත් මෙම සහන පැකේජය මෙම ජාත්‍යන්තර මූල්‍යායතන විසින් ලබාදෙන මුදල් වලට වඩා අඩු මට්ටමක තිබේ.
මේ වනවිටත් රජය චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාගෙන ඇති අතර තවත් ඩොලර් මිලියන 800 ක ණය මුදලක් ලබාගැනීමට උනන්දු වේ. මීට අමතරව, කොවිඩ් -19 වියදම් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ලංකාවට ඩොලර් මිලියන 128 ක දිගුකාලීන සහන ණයක් මේ වනවිටත් ලබාදී ඇත. එසේම, පවතින තත්ත්වය යටතේ G20රටවල් විසින් අඩු ආදායම් ලාභී රටවල ණය අත්හිටුවීමේ යෝජනාවක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව මේ වනවිට අඩු ආදායම් ලාභී රටක් නොවුණත් පරිවර්තන අවස්ථාවේ සිටින නිසා මෙයින් අවම වශයෙන් ඩොලර් මිලියන 1200 ක සහනයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට බොහෝදුරට හැකියාවක් ලැබෙනු ඇත.
මේ තත්ත්වය හමුවේ පීඩනයට පත් ජනතාව වෙනුවෙන් හොඳම විකල්ප අවස්ථාව තෝරා ගැනීම රජයේ වගකීමයි
මා විසින් යෝජනා කර තිබෙන මෙම ආදායම් ආධාරක පැකේජයේ සම්පූර්ණ මුදල රජය විසින් ගෙවා දැමීමේ වුවමනාවක්ද නැත. මෙම මුදලින් ඒදාවේල හරි හම්බ කරන ජනතාව සහ ස්වයං රැකියා කරන ජනතාව වෙනුවෙන් හිමිවිය යුතු මුදල් හෝ මේ අවස්ථාවේ රජය විසින් ගෙවා දැමීම අතිශය වැදගත් වේ. මෙය රජය විසින් යම් කාල රාමුවක් පදනම් කරගනිමින් ගෙවිය යුතු අතර ඇදිරි නීති කාලය තුළ මෙම කුටුම්බයන්ට අවශ්‍ය අවම කැලරි අවශ්‍යතාවය සපුරා ගනිමින් ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් මෙහිදී යෝජනා කර තිබේ. ඉතිරි ප්‍රමාණය වාණිජ මූල්‍ය ආයතන මගින් දිගු කාලීන සහන ණය ලෙස අවශ්‍ය පුද්ගලයින්ට ලබාදිය හැකිය. එම ණය මුදල රජය විසින් හෝ ණය දෙන ආයතනයක් විසින් සුරැකුම්කරණය කිරීම යෝග්‍ය වන අතර ඒ හරහා රජයට දැරීමට සිදුවන වියදම අවම කරගත හැකිය.
අවසාන වශයෙන් කිව යුත්තේ වර්තමාන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සමාජයේ දුප්පත්ම කාණ්ඩය වෙනුවෙන් ඔවුන්ට ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට රජයට අවශ්‍යතාවයක් තිබේ නම් එය කළ හැකි දෙයක් බවයි.

