ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 5 අඟහරුවාදා පස්වරු 8.30 වන විට 762ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 5 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 7ක් වාර්තා වී ඇති අතර 19ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මැයි 04 සඳුදා නව ආසාධිතයින් 37 දෙනෙකු හඳුනාගෙන ඇති අතර දිනය අවසන් වන විට ආසාධිතයින් 755ක් වාර්තා වී තිබෙනවා.
මැයි 05 දිනය තුළ 9 වැනි මරණයද වාර්තා වූ අතර එලෙස මරණයට පත් වූයේ 52 හැවිරිදි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය මාර්තු අග සිට රෝග ලක්ෂණ සහිතව නිවසට වී සිට ඇති බවත් එලෙස මාසයකටත් වඩා නිවස තුළ ගත කිරීමෙන් පසු අසනීප තත්වය උත්සන්න වූ විට කොළඹ ජාතික රෝහළට ඇතුළත්ව ඇති බවත් එහිදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාධනය වී ඇති බවත් අනාවරණය වූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළා. පසුව අදාළ කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා.
ඒ අනුව මැයි 5 පස්වරු 8.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 213කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 540ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 145ක් බවද සඳහන් වේ.
මැයි 05 දින පෙරවරු 10.30ට නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව අනුව නාවික හමුදා සාමාජිකයින් 327 දෙනෙකුත්, යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකුත් වෛරසය ආසාධිත පිරිස අතර සිටිනවා.
මේ වන සක්‍රීය ආසාධිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ලෙස IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, හෝමාගම මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
ඒ අනුව මැයි 5 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාධිතයින් 550 අතුරින්,
- IDH රෝහල – 115
- වැලිකන්ද මූලික රෝහල – 54
- මුල්ලේරියාව මූලික රෝහල – 92
- ඉරණවිල මූලික රෝහල – 17
- කාත්තන්කුඩි මූලික රෝහල – 59
- නාවික හමුදා රෝහල – 153ක් ද
- හෝමාගම මූලික රෝහල – 60ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මැයි 5 පස්වරු 8.30 විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 27.9%ක් ලෙසත් මරණ අනුපාතය 1.1%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මැයි 5 පස්වරු 8.30 වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 27,828ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 1300ක අගයක් ගනී.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාධිතයින් ප්‍රමාණය මෙසේය.
- මැයි 01 – 1,107 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 25
- මැයි 02 – 1,681 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 15
- මැයි 03 – 1,636 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 13
- මැයි 04 – 986 හඳුනාගෙන ආසාදිතයින් ගණන – 37

