සුවිශේෂ

මැකො සභාපතිධූරයෙන් මහින්ද දේශප්‍රිය ඉවත් කිරීමට දැවැන්ත මඩ මෙහෙයුමක් දියත් කෙරේ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම තනතුරෙන් එළවා හිතවතෙකු එම තනතුරට පත් කර ගැනීමේ පුළුල් මඩ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මහින්ද දේශප්‍රිය මැයි 06 දින සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මගින් මීට අදාළ බොහෝ දේ හෙළිවන අතර ඒ හා සබැඳි අනෙකුත් සිදුවීම් සියල්ල සැසඳීමේ දී ඒ වටා ක්‍රියාත්මක වන බලවේගය තේරුම්ගත හැකි වනු ඇත.

මහමැතිවරණය අවලංගු කර පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති කණ්ඩායමේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක අදාළ බලවේග විසින් මෙම මඩ ව්‍යාපාරය දියත් කර ඇති බවද පෙනී යයි. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තම කණ්ඩායමේ මතය දරන පුද්ගලයෙකු කොමිසමේ සිටින බවට වන විශ්වාසය නිසා එම පුද්ගලයාව සභාපති පුටුවේ වාඩි කර ගැනීමදැයි යන ගැටළුව පැන නැගී ඇත.

පළමු ප්‍රහාරය

එම මඩ ව්‍යාපාරයේ පළමු ප්‍රහාරය ලෙස නෙදර්ලන්තයේ අධ්‍යාපනය ලැබීමට ගිය මහින්ද දේශප්‍රියගේ පුත්‍රයා ද වන ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය සේවකයෙකු ද වන ඉංජිනේරු විදුර දේශප්‍රිය එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පිරිස අතර සිටීම උලුප්පා දක්වමින් චෝදනා කර සිටින්නේ මහින්ද දේශප්‍රිය සිය තනතුරේ බලය හරහා තම පුත්‍රයා මෙරටට ගෙන්වා ගත් බවට චෝදනාවක් එල්ල කිරීමයි.

අවංකව රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන් මෙවැනි චෝදනා හමුවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බැවින් අභූත චෝදනා නැගීම හරහා ඔවුන්ට මානසික පීඩනයක් එල්ල කිරීම එහි අපේක්ෂාව වී තිබේ. තම රාජකාරි ඉතිහාසය පුරා නොකැලැල් ලෙස සේවය කර ඇති රාජ්‍ය නිලධාරීන්ට එවැනි චෝදනා එල්ල කළ පසු ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම ඉතිහාසය පුරාවටම සිදුවී ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.

මහින්ද දේශප්‍රියගේ පිළිතුර ඔස්සේ හෙළිවන සගයා සහ මාධ්‍ය මෙහෙයුම

පසුගිය කාලය පුරාම කොමිසම තුළ හිඳිමින් පෞද්ගලික ප්‍රකාශ සිදුකරන සාමාජිකයෙකු හේතුවෙන් මැතිවරණ කොමිසම දැඩි ජනතා අප්‍රසාදයකට ලක් වෙමින් පැවතිය අතර එහි සභාපතිවරයා වන මහින්ද දේශප්‍රියගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසන සෑම අවස්ථාවකදීම ඔහුගේ කලකිරීම එම පිළිතුරු තුළ ගැබ්ව තිබුණි.

මහින්ද දේශප්‍රිය පන්නා හිතවෙතකු සභාපතිධූරයට පත් කර ගැනීමේ උත්සාහය

එම සිදුවීම් මාලාවත් සමග මැතිවරණය කල් දමා ගැනීමට වෙහෙසෙන සියලු දේශපාලන ක්‍රියාකාරීන් අතර වීරයා වූයේ අදාළ පෞද්ගලික මත ප්‍රසිද්ධියේ කියනු ලබන සාමාජිකයා යි. ඒ අනුව මේ වන විට එම පිරිස් වෙත හිතවත් සියලු මාධ්‍ය යොදාගෙන මහින්ද දේශප්‍රිය වෙත ප්‍රබල මඩ ව්‍යාපාරයක් දියත් කර ඇති අතර එහි පළමු මාධ්‍ය ප්‍රහාරය ලෙස තම පුත්‍රයා ගෙන්වා ගැනීම පිළිබඳ චෝදනාවක් එල්ල කර තිබේ.

මහින්ද දේශප්‍රියගේ පිළිතුර

මහින්ද දේශප්‍රිය තම පුත්‍රයා සම්බන්ධ චෝදනාවට දීර්ඝ පිළිතුරක් ලබා දී තිබේ. එමගින් ඔහු විමසා සිටින්නේ තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බැවින් තම පුතා වූ සහ රාජ්‍ය නිලධාරියෙකු වූ විදුරට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති අයිතිය අහෝසි වන්නේ ද යන්නයි. එමෙන්ම ඔහු විමසා සිටින්නේ තමන් කොමිසමේ සභාපතිවරයා වූ බැවින් තම පුත්‍රයාගේ පියා ලෙස සිදු කළ යුතු කාර්යන් නොකර සිටිය යුතු ද යන්න යි. එමෙන්ම ඔහු ඉන් අවධාරණය කරන්නේ රාජකාරිමය ස්වාභාවයේ කිසිඳු මැදිහත් වීමක් තමන් සිදුනොකළ බවත් එම ක්‍රියාවලියට අදාළව තම පුත්‍රයා ඇතුළු පිරිසකගේ ඉල්ලීම් පෞද්ගලික මට්ටමින් අදාළ තැන්වලට ඊමේල් හරහා යොමුකළ බව හා ඒවා ලද බවට තහවුරු කර ගැනීම පමණක් බවයි.

සම්පූර්ණ පිළිතුර පහතින්.

“අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා මගේ නිල තත්වය භාවිතා කර මා අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් මට චෝදනාවක් එල්ල කර තිබේ . ඒ පිළිබඳව සමාජ මාධ්‍ය වල සංසරණය වන ලිපියකට ( කලම්බු ටෙලිඟ්‍රාෆ් ) පෝස්ටුවකට මා ලියූ සටහන පහත අලවමි .

නෙදර්ලන්ත රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත මාස 18 ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන් වීමෙන් පසු, ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු වූ මාගේ පුත්‍රයා විදුර කාශ්‍යප දේශප්‍රිය අද 2020 මැයි 06 දින අලුයම කටුනායකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.

ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවු දෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළද ඉන් අයකුගේ අධ්‍යයන කටයුතු අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි.

මාගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සදහා මවිසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ යානයක් වෙන් කරවා ගෙන තිබේ දැයි මැයි 04 දින පෙරවරුවේ, පුද්ගලයින් තිදෙනකු වෙන වෙනම අවස්ථා තුනකදී අපගේ පවුලේ මිතුරකු වූ රජයේ නිලධරයකු ගෙන් විමසූ බව, විදුර 05 දා ඇම්ස්ටර්ඩෑම් හි සිට ලන්ඩන් වෙත ගොස් එහි සිට මෙහි පැමිණෙන බව මා විසින් ඔහුට දැන්වූ විට මා සමග ප්‍රකාශ කළේය.

එමෙන්ම අද දින ඉ- පුවත්පතක මාධ්‍යවේදියකු, මාගේ පුත්‍රයාගේ පැමිණීම ගැන ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කළ විටදී එය පල කිරීමට පෙර ඒ ගැන මා විමසීම මැනවි යයි මේ සටහන ලියන මාගේ මිතුරා ඔහුට දන්වනුු ලදුව ලිපිය සැකසීමට අපේක්ෂිත එම මාධ්‍යවේදී මහතා විසින් ඒ හා සබැදි කරුණු මගෙන් ඉ-තැපැල් ලිපියකින් විමසන ලදී.

මගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා ගරු ජනාධිපතිවරයා වෙතින් යම් ඉල්ලීමක් කළේද යන්න සහ ඒ වෙනුවෙන් විශේෂ ගමනක් සංවිධානය වූයේද යන්න එයින් විමසා තිබිණි. මම එයට පිළිතුරු දුනිමි.

එමෙන්ම මා දන්නා හඳුනන සැලකිය යුතු මිතුරන් සංඛ්‍යාවක් ද මේ ගැන සාකච්ඡා කරන බව, ඉන් සමහර දෙනකු සෘජුවම මගෙන් මේ ගැන විමසන හෙයින් නිරීක්ෂණය වේ.

එහෙයින් මේ සිද්ධියට අදාළ කරුණු මතු සදහන් කරමි.

1. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ. මා දන්නා පරිදි එංගලන්තය ද ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකාා ශිෂ්‍යයන් හා රාාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය / නිලධාරීන්ටද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබුණි.

2. අධ්‍යායන කටයුතු අවසන්වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ තානාපති කාර්යාලයේ හා එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේද විදේශ කටයුතු අමාත්‍යාංශයේද ලියාපදිංචි වී තිබිණි.

3. ඔවුනට ලංකාවට පැමිණීම සදහා පහසුකම් සලසා දෙන ලෙස තානාපති කාර්යාලය හරහා ද සෘජුවද මේ පිළිබඳව කටයුුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී.

4. මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකථනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම බාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කරගැනීමයි. එමෙන්ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේද යන්න ද මවිසින් විමසන ලදී. ඒ අතරතුර ලන්ඩන් හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබා ගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ ඖෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයටද මම කතා කළෙමි.

5. මැයි 05 දිනයේදී ⁣ මා, ගරු ජනාධිපතිවරයා ට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වා ගැනීම ගැන මා කිසිවිටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමාද මේ ගැන විමසා නැත. එසේවුවද මාවිසින් එතුමාගේ විශේෂ සහායක් ලබා ගෙන අපගේ පුත්‍රයා ගෙන්වා ගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි. මාගේ පුත්‍රයා ගෙන්වා ගැනීම සදහා සහාය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වා ගැනීම ගැන ⁣කතා නොකළ බවද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේදී එතුමා දැන්වීය.

6 . එබැවින් මාගේ නිල තත්වය භාවිතා කර මාගේ පුත්‍රයා වූ විදුර ⁣දේශප්‍රිය ගෙන්වා ගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත.

7. මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන්, මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගතයුතුද යන්න හා මා මැකොස සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි. ⁣අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළබැඳියා අතර ගැටුමක් බව ඔහු ගේ මතයයි. ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි.

8. මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාටද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාඨමාලා අවසන්වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය ඇති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි. මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටක මාගේ නිල තත්වය, ඔවුන් හඳුන්වා දීමට හෝ භාවිතා නොකරන බව හෝ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිතා කර නැති අප ගැන දන්නා සැවොම දනිති.

එසේවුවද සැමවිටම අපට අවලාද හා විවේචන එල්ල වේ. ඒ සෑම අවලාදයක්ම ප්‍රශංසා මෙන්ම එකම ආකාරයෙන් සැලකීමට උත්සාහ කරමින් සිටිමි.

එනමුත් මේ කරුණ බරපතල ලෙස සලකා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ යයි සිතන අපේ සමාජ ක්‍රියාකාරීහු රැසක් සිටිති. එහෙයින් මේ ගැන යමක් කළයුතු යැයි සිතමි. මක්නිසාද යත් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසමද ජනතා පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ද, අම්බලන්ගොඩ නගරය හා ධර්මාශෝක විද්‍යාලයද, මිත්‍රත්වය ද පවුලේ සබඳතා වලට ඉහළින් සලකමින් මා මුලු දිවිය පුරාම කටයුතු කළ බැවිනි.

විශේෂයෙන්ම පුත්‍රයා 2010/2011 වර්ෂවල බරපතල ලෙස රෝගාතුරව දින ගණනාවක් රෝහල් ගතව සිටියදී ඔහුගේ සාත්තුව සදහා දිවා කාලයේ යෙදවීමට අන් කිසිවකු නොමැතිව සිටියදී පවා රෝහලේ රැදී නොසිට රාජකාරි ඉටු කළ මට ඔහු වෙනුවෙන්, මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණක් බැවිනි.

පසුගිය අප්රේල් 25 දින ඡන්දවිමසීම පැවැත්වීමට නියම කළ වහාම මට වයස අවුදු 65 සම්පූර්ණ වන 2020 ජුනි 05 දින සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැයි 05 දා ගරු ජනාධිපතිවරයා වෙත යැවීමට මාර්තු මුල් සතියේ මා සකස් කළ බවත් එසේ නොකරන ලෙස මාගේ සමීපතයන් ඉල්ලා සිටි බවත් දන්නා සැලකිය යුතු පිරිසක් සිටිති.

එමෙන්ම අප්‍රේල් මස මුලදී ද මා ඒ යෝජනාව ගැන නැවත අවධානය යොමු කළ අතර එසේ කිරීම සුදුසු නැති බව අපගේ ජේෂ්ඨ නිලධාරීන්ගේ මතය විය. ඉන් අනතුරුව ව මට එරෙහිව දරා ගැනීමට බැරි තරම් අභූත චෝදනා අපගේ සගයකුගේ සහාය ඇතිව මෑතදී, මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදී ද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් මට තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා මම මේ තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව ගැන අප්‍රේල් අගද මැයි පළමු සති අන්තයේ ද මා අපගේ සගයන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

එබැවින් මිතුරනි, දේශපාලන ක්‍රියාකාරීනි, සිවිල් සමාජ ක්‍රියාකාරීනි, මාධ්‍යවේදීනි, පුරවැසියනි, මා සැමවිටම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය, විගණනය හා හෘදය සාක්ෂිය ඉදිරියේ වරද කරුවකු නොවන සේ ක්‍රියා කළ යුතු වෙමු. මාගේ මෙම කාර්යය ඒ කිසිදු අයුරකින් වරදක් නෙවේ යයි මම සිතමි.

එසේවුවද මා, අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ, මැකොස සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරි වලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතැයි හැඟිමි.

කෝවිඩ් 19 ට පරාජය. – ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි.”

Rivira FB Group Rivira Youtube
To Top