,
News

ඇමති සැප අත් නොහැරි “යහපාලන ඇමතීන්” ගැන අධිකරණ කටයුතු මැයි 11 සිට

යහපාලන රජයේ ධූර දැරූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු රැසක් නිල නිවාස හා නිල වාහන බාර දී නැති බව “රිවිර.lk” මීට පෙර වාර්තා කළා. අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් 22ක් මැයි 06 දින වන විටත් අදාළ රාජ්‍ය දේපළ නැවත බාර දී නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි “රිවිර.lk” වෙත අනාවරණය කළා.

ඒ අනුව යහපාලන රජයේ ඇමතිධූර හෝ විවිධ තනතුරු දරමින් නිල නිවාස භාවිතා කර එම තනතුරු අවසන් වීමෙන් මාස 7කට වැඩි කාලයක් ගත වී තිබියදීත් අදාළ නිල නිවාස නැවත බාර නොදුන් 22ක් සම්බන්ධයෙන් මැයි 11 දින නැවත අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව නඩු පැවරීමට නියමිත බව ඔහු සඳහන් කළා. කොවිඩ්-19 තත්වය හේතුවෙන් මාර්තු මස දී පැවරීමට නියමිතව තිබූ අදාළ නඩු කටයුතු ප්‍රමාද වූ බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

“රිවිර.lk” මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම 22 දෙදෙනා අතර පවතින ආණ්ඩුවට සහය පළ කරන හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බවයි. රාජ්‍ය දේපළ අවභාවිතය, මුදල් නාස්තිය වැනි බරපතල තත්වයන් එරෙහිව ඒවා මැඩලීමට කියා බලයට පත් වූ “යහපාලන ආණ්ඩුව”ට මේ සම්බන්ධයෙන් ප්‍රබල විවේචන එල්ල වන්නේ ඔවුන් ඒවාට එරෙහි බව ජනතාවට කියා බලයට පත් ව ඊට සම්පූර්ණ පටහැනිව කටයුතු කර ඇති බැවිනි.

කෙසේ වෙතත් අදාළ මැති ඇමතීන්ට එම නිවාසවලින් ඉවත් වීම සඳහා මාස 3ක අතිරේක කාලයක් ද ලබා දී තිබූ බවත් එම කාල සීමාවද ඉක්මවා මේ වන විට මාස 4ක් පමණ ගත් වී ඇති බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා. මේ තත්වය හමුවේ වත්මන් රජයේ ඇමතිවරුන්ට නිවාස ලබා දීමේ ක්‍රියාවලිය ද අවුල් ස්වාභාවයක් ගෙන ඇති බවද අනාවරණය වී තිබේ. බොහෝ ඇමතිවරුන් ඒ තත්වය යටතේ කුලී නිවාසවල පදිංචී වීමට තීරණය කර ඇති බවත් නිල නිවාස ලබා නොදෙන්නේ නම් කුලී නිවාස සඳහා කුලී ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවද ඔවුන් අනාවරණය කළා.

මේ තත්වය යටතේ අනවසරයෙන් රජයේ නිවාසවල රැඳී සිටින පුද්ගලයින් ඉවත් කිරීමට වහාම අධිකරණ නියෝග ලබා ගැනීමටත්, එමගින් රජයට අහිමි වූ මුදල වන්දි වශයෙන් ලබා ගැනීමටත් නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අනාවරණය කළේය.

Rivira Ads
To Top