2020 මහමැතිවරණය

ජුනි 20 මැතිවරණ දිනයට එරෙහිව වික්ටර් අයිවන් ඇතුළු පිරිසකගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි නොකැඳවීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් මාධ්‍යවේදී වික්ටර් අයිවන්, සිවිල් ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය ඇන්ටන් මීමන, අධ්‍යාපනඥ ටී. එම්. ප්‍රේමවර්ධන, නීතිඥ තිස්ස, වෛද්‍ය එච්.ඩී.එස්.එෆ්.ඩී. හේරත් සහ මාධ්‍යවේදී මහින්ද හත්තක යන පිරිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් මැයි 05 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම මගින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු වුවත්, එසේ සිදු නොකොට, උක්ත කාලය ඉක්මවා ගොස් මැතිවරණය පවත්වන දිනය ගැසට් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්වය නිසා පවතින බව කියන ජීවිත අවදානම පිළිබඳවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාවක් පිළිබඳවත් පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත් කර ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති මඟින් සලසා දී ඇති නීතිමය ප්‍රතිපාදන අනුව අදාළ පෙත්සම ගොනු කර ඇති බවත් එම පෙත්සම පිළිබඳ විභාගය අවසන් වන තුරු මැතිවරණයට අදාළව නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම අත්හිටවුන ලෙසත්, අදාළ ගැසට් නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ඒ) හි සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් අයැද සිටී.

රාවය පුවත්පත් වාර්තාව ඇසුරින්

සබැඳි පුවත්

Rivira FB Group Rivira Youtube
To Top