2020 මහමැතිවරණය

මැතිවරණය පැවැත්වීමට එරෙහිව සජිත්ගේ සමගි ජනබලවේගයෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාර්තු 2 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කරන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය විසින් මැයි 06 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමත් සමග මේ වන විට, ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 3කි. ඒ අතර මෛත්‍රී ගුණරත්නගේ පුත් චරිත් ගුණරත්න ඉදිරිපත් කළ පෙත්සම හා මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිස ඉදිරිපත් කළ පෙත්සම් ඇත.

සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් සහ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. නීතීඥ දිනේෂ් විදානපතිරණ හරහා ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

එහෙත් මේ වන විට ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 දින පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය මහ මැතිවරණය අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නියම කෙරුණ ද කොවිඩ්-19 වසංගත හේතුවෙන් එම දිනයේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ බව එහි සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 දින දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇති බව සඳහන් කරන පෙත්සම්කරු කියා සිටින්නේ එලෙස ජුනි 20 දින මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.

එයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති අවශ්‍යතාවය කඩ වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද පෙත්සම්කරු විසින් කියා සිටී.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ඇති තත්වය ගැන සඳහන් කරන පෙත්සම්කරු කියා සිටින්නේ 2019 ඔක්තෝබර් 23 දින පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය බලය ලැබී ඇත්තේ පසුගිය අප්‍රේල් 30 දින දක්වා පමණක් බවයි.

එබැවින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි එම පෙත්සමේ සඳහන්.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටින්නේ එවැනි තත්වයක දී පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල් වැයකිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි.

එබැවින් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 2 දින නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් අයැද සිටී.

මෙම සියලු ක්‍රියාවන් තුළින් රජය සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් අයැද සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් ද නම් කර ඇත.

සබැඳි පුවත්

Rivira FB Group Rivira Youtube
To Top