දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කර ඇති පණිවුඩය පහතින්.

“බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදු වූ වෙසක් මංගල්‍යය මෙවර සමරන්නට සිදුව ඇත්තේ කොරෝනා වසංගතයට ලංකාවසේම ලෝකය ම එකසේ මුහුණ දී ඇති තත්ත්වයක් යටතේ ය. දැඩි කැපකිරීමෙන්, ඉවසීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව එම වසංගතයෙන් මුදාගැනීමේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමට ආසන්නය. එබැවින් අප වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් මුදාගැනීම සඳහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයෙනි.

ඇඳිරි නීතිය හෝ සෞඛ්‍යමය නීතිරීති ධර්මානුකූල ජීවිතයට කිසිදු බාධාවක් ගෙනඑන්නේ නැති බව මගේ වැටහීමය. වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගතකළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇත. වෙසක් දා ට පහණක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදුය. අකුසලින් දුරු වීමටත් සියලු කුසල් වැඩීමටත් උද්ගතව ඇති වාතාවරණය කිසිදු බාධාවක් නොවේ.

තථාගතයන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය මෙම ව්‍යසනයේ දී අපට පිහිටකොට සිටී. ජීවිතය නිශ්චිත නොවන බවත් ස්ථිරසාර කිසිවක් නැති බවත් කියවෙන බුදු වදනෙහි සත්‍යතාව මේ ව්‍යසනයේ දී ලෝකයම පසක් කරගත් බව පෙනේ. සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීමේ බුදු වදන මෙබඳු ව්‍යසනයන්ට මුහුණ දීමට ඇති හොඳම මගය.

වෙනත් රටවලට පෙරාතුව කොවිඩ් වසංගතයට එරෙහිව ජයග්‍රහණය ලැබීමට ද බෞද්ධයා පුරුදු පුහුණු කළ ඒ හික්මීම හේතුවන බව මගේ විශ්වාසයයි. එබැවින් මේ වෙසක් සමයේ සිත, කය, වචනය යන තුන්දොර හික්මවාගෙන උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා තුන් ලොවටම මෙත් වඩා අපි තෙරුවන් සරණ යමු. සියලු සත්වයෝ නිදුක්, නීරෝගී වෙත්වා…!

මහින්ද රාජපක්ෂ
2020 මැයි මස 07 වන දින”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top