,
Features

වෙසක් පොහොය දිනය අදයි

ලොව පුරා සිටින බෞද්ධයින්ට වැදගත්ම දිනය ද වැගත්ම ආගමික උත්සවය ද වන්නේ වෙසක් පොහොය දිනය යි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අද (මැයි 07) වැනි උතුම් පොහෝ දිනකයි.

සිදුහත් කුමරුගේ ඉපදීම, බුදු වීම සහ බුදුරදුන්ගේ පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙයි. මෙවර වෙසක් දිනයේ තේමාව වී ඇත්තේ “ආරෝග්‍ය පරමා ලාභා, සන්තුට්ඨී පරමං ධනං” යන්න යි. එනම් “නිරෝගී බව උතුම් ලාභයකි. සතුට උතුම් ධනයකි” යන්න යි.

බොහෝ ඈත අතීතයේ සිටම අප රටෙහි බුදු තෙමගුල සිහිගන්වන වෙසක් පොහොය දිනයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයක්. එදා රජවරුන් රාජ්‍ය කරන සමයෙහි පටන් වෙසක් දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වෙසක් උත්සවය සමග සබැඳි සංස්කෘතිකාංග රැසක් පවතින අතර එය ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාවය විදහාපෑමට මහෝපකාරී වෙයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ වෙසක් උත්සවය

දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරීම වඩාත් යෝග්‍ය බව ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න, උඩරට අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිව්නම විසින් මෙම ඒකාබද්ධ වෙසක් දින පණිවිඩය නිකුත් කරනු ලැබ ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

“සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකළ ක්ලේෂයන් ප්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය,බුද්ධත්වය,පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යයෝත්සව දිනයයි. මෙදින දාන, ශීල, භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්තිමය පූපෝපහාරයන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකළ ලෝකවාසී බෞද්ධයන්ගේ සිරිත විය.

එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ලොව පුරා බලවත් රාජ්‍යයන් හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස්වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සව පිංකම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව බුදුන්වහන්සේගේ ඉගැන්වීම පරිදි සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් සැම සත වෙනුවෙන් මෙත් වඩමින් ලෝකවාසීන්ට අවිහිංසාවාදී ධර්ම මාර්ගයක් දේශනා කළ තථාගතයන් වහන්සේ විෂයෙහි කරන උතුම් පූජාවක් වශයෙන් උන් වහන්සේගේ පරම පූජනීය ගුණයන් සිහිපත් කරමින් සැදැහැ සිතින් කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගනිමු. එසේම ආරෝග්‍යා පරමාලාභා යන බුදු වදන අනුව යමින් නිරෝගීකම සියලු සත්ත්වයන්ට සැලසෙන පරම ලාභයක් සේ සලකා මෙම වෙසක් සමය තුළ සියලු දුසිරිතෙන් වැලකී අධ්‍යාත්මක ගුණධර්ම දියුණු කරගෙන එම සත්‍යක්‍රියා බලය තුළින් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කාරුණාධ්‍යාශයෙන් ආශිංසන කර සිටිමු.”

මැයි 06 දින ඔලගොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් වෙසක් දින රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යතුමන් කියා සිටියේද වෙසක් දිනය බෞද්ධයන්ගේ පමණක් නොව ලෝකයේ නොයෙක් ආගම් වල ජාතීන් වල ගෞරවයට පාත්‍රවුණු වැදගත් දිනයක් ලෙසයි.

වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ද?

බොහෝ දෙනෙකු සිතා සිටින්නේ වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසයි. එය හිටපු කෘතහස්ථ දේශපානඥයෙකු වන දිවංගත ලක්ෂමන් කදිරගාමර් විසින් සිදුකළ බවටද සමාජය විශ්වාස කරයි.

එහෙත් 1999 දී ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යවරයා වූ ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ අදහස් මත ඉදිරිපත් කරන ලද 554/115 දරණ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරන ලදී. ඒ අනුව වර්තමානයේ වෙසක් දිනය, “එක්සත් ජාතීන්ගේ සැමරුම් දිනයක්” ලෙසට ජාත්‍යන්තර සම්මුතියකට එළඹ ඇත. නමුත් එය ජාත්‍යන්තර නිවාඩු දිනයක් නොවේ.

එලෙස කෘතහස්ථ දේශපාලනඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර්ගේ මූලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් වෙසක් දිනය ජාත්‍යන්තර සමරු දිනයක් බවට පත් කරන ලදුව 2000 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන හා රටවල් රැසක් ද වෙසක් දිනය සමරනු ලබයි.

2017 දී දැරූ උත්සාහයට කුමක් සිදුවූයේ ද?

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම 2017 වසරේ දී පැවැතියේ ශ්‍රී ලංකාවේ දීය. එවක ජනාධිපතිවරයා ව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් බෞද්ධ සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයක් මගින් ඉල්ලා සිටියේ ය. නමුත් එම ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වී නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව එයිනුත් වසර 3ක් ඉකුත් වී ඇති 2020 මැයි 07 දිනට යෙදී ඇති වෙසක් දිනය දක්වාම වෙසක් දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් වුව ද ජාත්‍යන්තර නිවාඩු දිනයක් නොවේ.

Rivira Ads
To Top