,
Covid-19

බිමල් රත්නායක පිළිගත් ට්විටර් පණිවුඩයේ සත්‍ය මෙන්න

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින් මැයි 06 දින රාත්‍රියේ දී ට්විටර් පණිවුඩයක් තබමින් කියා ඇත්තේ කොරෝනා ආසාධනය වීමෙන් මිය ගිය අවසන් කාන්තාවන් දෙදෙනාට වෙනස් ලෙස සළකා ඇති බවකි.

අදාළ සටහන ඉංග්‍රීසි බසින් පළ කර තිබූ අතර එහි සිංහල පරිවර්ථනය මෙසේය.

මව්වරුන් දෙදෙනෙකුගේ සමුගැනීම!
හදවත කම්පා කරවන සුළුයි!
ජනාධිපතිතුමනි,
මේ රටේ මුස්ලිම්වරුන්ට ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් සහතික කිරීමට ඔබට නොහැකි නම්, ඔවුන්ට ගෞරවනීය අවමංගල්‍යයක් පැවැත්වීමට සහතික වන්න.
මෙය බෞද්ධ ඉගැන්වීම්වලට පවා විරුද්ධ, මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් වෙනස්කොට සැළකීමක්. මෙය නවත්වන්න.

එය ඔහු විසින්ම පළ කළ පණිවුඩයක් ද?

අදාළ ට්විටර් පණිවුඩය මැයි 07 දිනය පුරා සමාජ ජාල සහ වෙබ් අඩවි තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ අතර පස්වරුවේ දී ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් ප්‍රචාරය විය. එම වැඩසටහන අතරතුර ඔහුගේ පිටුවේ ම ඉහත කී ට්විටර් පණිවුඩය ව්‍යාජ ප්‍රචාරයක් බවට වූ “නිවැරදි කිරීමක්” පළ විය. එහෙත් අදාළ නිවැරදි කිරීම සුළු කාලයක් තුළ ෆේස්බුක් පිටුවෙන් ඉවත් වූ අතර ඒ වන තෙක්ම “රිවිර.lk” ඒ සම්බන්ධයෙන් සොයා බලමින් සිටියේ අදාළ සටහන ඔහුගේම ද යන්න තහවුරු කර ගැනීම සඳහා ය.

එහෙත් අදාළ නිවැරදි කිරීම ඔහුගේ පිටුවෙන් ඉවත් කර පසුව සජීවී වැඩසටහනේ දී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔහු විසින් ඉදිරිපත් කළේය. අදාළ පැහැදිලි කිරීම සහ නිවැරදි කිරීම පරස්පර වූ අතර අදාළ ට්විටර් පණිවුඩය ඔහුගේ නොවන බව වූ “නිවැරදි කිරීම” වැරදි පළ වූවක් බව සනාථ කරමින් එය ඔහු විසින්ම පළ කළ බව අදාළ වැඩසටහනේ දී පිළිගත් අතර ඔහු එම සටහන සහ එය තැබීමට පසුබිම් වූ කරුණු සාධාරණීකරණය කිරීම සඳහා කරුණු ඉදිරිපත් කළේය. (මෙම පුවතේ අවසානයේ ඔහු විසින් අදාළ වැඩසටහනේ දී කළ පැහැදිලි කිරීම පළ කර ඇත.)

අදාළ සටහන ආන්දෝලනයට තුඩු දුන් හේතුව කුමක්ද?

අදාළ සටහන මගින් සහ ඔහුගේ පැහැදිලි කිරීම හරහා ඔහු කියා සිටින්නේ කොවිඩ්-19 ආසාධිත වීම හේතුවෙන් මිය ගිය 8 වැනි “සිංහල කාන්තාවට” සහ 9 වැනි “මුස්ලිම් කාන්තාවට” දෙවිදියකට සළකා ඇති බවයි.

ඒ සඳහා ඔහු එම ට්විටර් පණිවුඩයට, අවසන් කටයුතු සිදුකරන ස්ථානයක ඇති බව පෙනෙන මිනී පෙට්ටියක් තුළ දේහයක් තබා ඇති බවත් ස්වාමීන් වහන්සේලාද එහි සිටින බවත් දැක්වෙන ඡායාරූපයක් ද පළ කර ඇති අතර “මුස්ලිම් කාන්තාවගේ” බව ඇඟවෙන අනෙක් ඡායාරූපය තුළ බොඩි බෑගයක පමණක් දමා ට්‍රොලියක් මත තබා ඇති සිරුරක් සහ ඒ ආසන්නයේ සිටින මුස්ලිම් බව හඳුනාගත හැකි පිරිමි පුද්ගලයෙකු සිටින අවස්ථාවක් ද පළ කර තිබේ.

එනම් අදාළ සටහනේ අර්ථය නම් මුස්ලිම් ජනතාවට ගෞරවනීය ජීවිතයකට හා ආරක්ෂිතව ජීවත්වීමට ඇති අයිතිය අහිමි කර ඇති බවය. එබැවින් ඔහු කියා ඇත්තේ ගෞරවනීය අවමංගල්‍යයක් හෝ ඔවුන්ට ලබා දෙන ලෙසයි.

Rivira Ads
To Top