,
News

වෙසක් දිනයේ දී සුනඛයාගේ දිවි තොර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විශ්‍රාමික පොලිස් අධිකාරිට ඇප

වෙසක් පොහොය දිනයේ දී පාරක සිටි සුනඛයෙකුට වෙඩි තබන බවට වන සීසීටීවී දර්ශන පෙළක් මැයි 07 දින සමාජ ජාලවල වේගයෙන් හුවමාරු විය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සොයා බැලීමේ දී වාර්තා වූයේ අදාළ සුනඛයා මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකු බවයි. හද කම්පා කරවන සුළු එම දර්ශන පෙළ හරහා සුනඛයාට එක්වරම වෙඩි වදින අවස්ථාවක් දර්ශනය විය.

මේ වන විට වාර්තා වන්නේ අදාළ සුනඛයා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් ඔහුගේ නිවසේ සුරතලයට ඇති දැඩි කළ සත්වයෙක් බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම සුනඛයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුකර ඇති බව හා එය තම අසල්වැසියෙකු වන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් බවයි.

ඔහු විසින් ඒ සම්බන්ධයෙන් වහාම පොලීසිය වෙත පැමිණිලි කළ බවද සඳහන් කළා. ඒ අනුව වෙඩි තැබීම සිදුකළ බවට සැක පිට අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියා මැයි 07 දින පස්වරුවේ ම මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පුද්ගලයා හිටපු පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු බවට හඳුනාගෙන ඇති අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවරගෙන ඇත.

එහිදී සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ නියෝග කර තිබෙනවා. වැඩිදුර නඩු විභාගය මැයි 18 දිනට නියම කර තිබෙනවා.

“බෞද්ධ රටක් වශයෙන් අදාළ සිදුවීම පිළිබඳ ලැජ්ජා විය යුතු බව” පහත වීඩියෝවේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තාව ප්‍රකාශ කරන අතර එය සත්‍ය වුවත් සැකකරු බෞද්ධයෙකු නොවන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

දර්ශනය හිරු ටීවී

Rivira Ads
To Top