කොවිඩ්-19

කොවිඩ්-19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබෙන බව මැයි 08 සිකුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් පසුගියදා පිළිගන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය ද රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ බෞද්ධ සංගමය ද තවත් රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

සබරගමුව පළාත් සභා අරමුදල විසින් රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක විසින් රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රුපියල් 150,000ක් ද අදාළ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

මීට අමතරව ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 900 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැදි බවද සඳහන්. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත්, ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකියාව තිබෙනවා. දුරකථන අංක 0112354479 / 0112354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ අමතා වැඩි විස්තර දැන ගත හැකියි.

Rivira FB Group Rivira Youtube
To Top