ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාර්තු 2 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජුනි 20 මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම විසින් මැයි 09 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සමත් සමග මේ වන විට, ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 5කි. ඒ අතර මෛත්‍රී ගුණරත්නගේ පුත් චරිත් ගුණරත්න ඉදිරිපත් කළ පෙත්සම, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිස ඉදිරිපත් කළ පෙත්සම, විකල්ප ප්‍රතිපත්ත කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඉදිරිපත් කළ පෙත්සම හා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම ඇත.
- ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම හා එහි පසුබිම
- ජුනි 20 මැතිවරණ දිනයට එරෙහිව වික්ටර් අයිවන් ඇතුළු පිරිසකගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- මැතිවරණය පැවැත්වීමට එරෙහිව සජිත්ගේ සමගි ජනබලවේගයෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- මැතිවරණයට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තුගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සමගි ජනබලවේගයේ පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් විදානපතිරණ හරහාම චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන දෙදෙනාගේ පෙත්සමත් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන නලින් අබේසේකර සහ රත්නජීවන් හූල් ද, නීතිපතිවරයා ද නම් කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරී දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ඉන් ප්‍රතිපාදන සලසා ඇති බව පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින් පෙන්වා දෙයි.
එම ප්‍රතිපාදන මත ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 දින පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පවසන පෙත්සම්කරුවන් කියා සිටින්නේ එම නිවේදනය මගින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 දින පැවැත්වීමට දින නියම කෙරුණු බවයි.
නමුත් කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් අප්‍රේල් මස 25 දිනට නියමිත මහමැතිවරණය පැවැත්වීමට නොහැකි බව තීරණය කළ මැතිවරණ කොමිෂන් සභාව මහමැතිවරණය ජුනි මස 20 දින දක්වා කල් තබමින් දින නියම කර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
ඒ අනුව ජුනි මස 20 දින මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වී ඇති බවත් ඒ හරහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බව පෙත්සම්කරුවන් කියා සිටී.
පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් කියා සිටින්නේ තවමත් රටතුළ කොරෝනා වසංගතය පාලනය වී නොමැති බැවින් මෙම අවස්ථාවේ දී මැතිවරණයක් පැවැත්වුවහොත් නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවයි. එමගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යන බවද පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා.
එබැවින් කොවිඩ්-19 වසංගත තත්වය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් තමාගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් එතෙක් ජුනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා මාර්තු මස 2 දින නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටී.

