කොවිඩ්-19

“භූමදානයට අවසර නොදීම වෙනස්කම් කිරීමක්” – බදුර්දීන් ජනපතිට කියයි

(රිවිර.lk, 2020 මැයි 10 පෙරවරු 10.30ට)

කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් සහ භූමදානය කිරීමට අවසර ලබා දෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මැයි 08 දිනැතිව යොමු කර ඇති අදාළ ලිපිය මගින් හිටපු ඇමතිවරයා කියා සිටින්නේ 52 හැවිරිදි මෝදර කාන්තාව කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ මරණයක් බව මුලින් කියා සිටිය ද මේ වන විට එය එසේ නොවන බව සනාථ වී ඇති බවයි. එමෙන්ම ලෝකයම පිළිගත් භූමදානය ශ්‍රී ලංකාව විසින් පිළිනොගැනීම හරහා මුස්ලිම් ජනතාව වෙත වෙනස්කම් සිදුකරන බවද ඔහු කියා සිටී.

ඔහු විසින් එසේ සඳහන් කළ ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් අදාළ 52 හැවිරිදි කාන්තාව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය බවට නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එය මෙතෙක් වෙනස් කිරීමකට ලක් කර නොමැති බව “රිවිර.lk” වෙත තහවුරු වී ඇත. ඒ අනුව එම කාන්තාව ද සමග මෙරට කොරෝනා මරණ ගණන 9ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ නිල දත්ත තහවුරු කර සිටී.

ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කළ සම්පූර්ණ ලිපියේ සිංහල පරිවර්ථනය පහතින්.

“කොරෝනා ආසාධිත මුස්ලිම්වරුන්ගේ අවසන් චාරිත්‍ර

කොවිඩ්-19 වසංගතයට මුහුණ දීමේ දී ඇති වන අභියෝග සම්බන්ධීකරණය කිරීමේ දී ඔබ ලබාදෙන ශක්තිමත් නායකත්වය වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙමි. ජීවිත බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබන පෙරටුගාමී වෛද්‍ය, හෙද, සන්නද්ධ සේවා සහ රජයේ කාර්ය මණ්ඩලය විසින් කරන ලද විශිෂ්ට සේවය අපි අගය කරමු. “ජීවිතයක් බේරාගන්නා තැනැත්තා මුළු මිනිස් සංහතියම ගලවා ගත්තාක් මෙනි – අල් කුර්ආනය 5:32

කොරෝනා වෛරසයෙන් මරණයට පත් මුස්ලිම්වරුන්ගේ දේහයන් දිගින් දිගටම ආදාහනය කිරීම පිළිබඳව මුස්ලිම් ප්‍රජාව දැඩි සේ කනස්සල්ලට පත්ව සිටිති.

ජනාධිපතිතුමනි, ‘කොවිඩ් 19 සන්දර්භය තුළ ආසාධිත මළ සිරුරක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම සඳහා ආසාධන වැළැක්වීම සහ පාලනය කිරීම’ යන මාතෘකාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016.03.24 දිනැතිව නිකුත් කළ අන්තර්වාර මාර්ගෝපදේශයන්ට අනුව ලොව පුරා රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා හේතුවෙන් මියගිය අය භූමදානය කිරීම හා ආදාහනය කිරීම නිර්දේශ කරන බව යළි මතක් කළ යුතු නැත. එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හොංකොං, ඇමරිකා එක්සත් ජනපදය යනාදී රටවල දහස් ගණනක් මිය ගිය පිරිස් සමූහ මිනී වලවල් වල භූමදානය කර ඇත. එහෙත් 2020 අප්‍රේල් 11 වන දින ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාව විසින් කොවිඩ්-19 මගින් මරණයට පත් මුස්ලිම්වරුන් භූමදානය කිරීම තහනම් කර තිබේ.

ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී භූමදානය කිරීම පිළිබඳ විද්‍යාත්මක හා සදාචාරාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු. ඒ සඳහා පිළිගත් වෛද්‍ය වෘත්තිකයින් ගණනාවක් මෙම කමිටුවට නිර්දේශ කිරීමට කැමැත්තෙමු. එවැනි කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ද ඉල්ලා සිටියේය.

අතිගරු ජනාධිපතිතුමනි, අපගේ ආගමික වත්පිළිවෙත් අනුව මියගිය මුස්ලිම් අයෙකුගේ දේහය බැහැර කිරීම ජීවමාන මුස්ලිම් අයට පැවරේ. ඒ අතර භූමදානය ඉස්ලාමයේ නියම කර ඇති එකම විකල්පයයි. අපගේ මළවුන් ආදාහනය කිරීම තහනම්ය. මළවුන් ස්නානය කරවීමේ දී පවා අපි දැඩි සැලකිල්ලක් සහ සංවේදීතාවයක් බලාපොරොත්තු වෙමු.

“මුස්ලිම් අයෙකු මිය ගිය විට ඔහුගේ ඇටකටු කැඩීම, ඔහු ජීවතුන් අතර සිටින විට ඒවා බිඳීමට සමානය.” මෙම හදීත් අව්‍යාජ වන අතර එය නබි (සල්) තුමාට සහ සහායකයකුට ආරෝපණය කර ඇත. එනිසා මියගිය මුස්ලිම්වරයෙකුගේ මෘත දේහය පුළුස්සා දැමීමට අවසර නැත.

මා ඇතුළු බොහෝ දෙනෙක් මෙය කොවිඩ්-19 හි මුල් අවධියේදී අතිගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ අවධානයට යොමු කර තිබේ. පවුලේ සහ මුස්ලිම් ආගමික නායකයින්ගේ විරෝධය නොසලකා රජය මිය යන මුස්ලිම්වරුන් ආදාහනය කිරීම දිගටම කරගෙන යයි.

අතිගරු ජනාධිපතිතුමා දන්නා පරිදි, මෝරද, 52 හැවිරිදි මුස්ලිම් කාන්තාවගේ දේහය ආදාහනය කරන ලද්දේ රජයේ නිලධාරීන් විසින් එය කොවිඩ්-19 මරණයක් යැයි කියමින් වුවත් එය එසේ නොවන බව ඔප්පු විය. අපේ රෝගීන්ගේ ඉරණම ගැන මුස්ලිම්වරු මහත් කම්පනයට හා කනස්සල්ලට පත්ව සිටිති.

විශ්වාසයන්ට හා සම්ප්‍රදායන්ට අනුව ඔවුන්ගේ ශරීර බැහැර කිරීම යනු මියගිය තැනැත්තාට දිය හැකි උපරිම ගෞරවයයි. 11/4/2020 ගැසට් නිවේදනයෙන් භූමදානය තහනම් කිරීම විද්‍යාත්මකව හා සදාචාරාත්මකව දෝෂ සහිතය. මුළු ලෝකයම භූමදානය කිරීමට අවසර දී තිබියදීත් රජය විසින් කරන ලද මෙම වෙනස්කම් කිරීමේ ක්‍රියාවලියට කිසිදු පදනමක් නොමැත.

එබැවින්, ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙසත්, එමගින් භූමදානය ද අනුමත ක්‍රමයක් ලෙස ඇතුළත් කරන ලෙසත් මම නිහතමානීව ඉල්ලා සිටිමි.

ඔබට ස්තූතියි,
රිෂාඩ් බතියුදීන්, නායක – සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය”

Rivira FB Group Rivira Youtube
To Top