කොවිඩ්-19

පෙත්සම් සළකා බැලීමට දින දෙයි, සියලු විස්තර මෙතැනින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන මත මාර්තු 2 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඇති වූ කොවිඩ්-19 තත්වයන් මත නියමිත පරිදි අප්‍රේල් 25 දින මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ජුනි මස 20 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස 3ක කාලය ඉක්මවන බැවින් එය ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බව සඳහන් කරමින් අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනුකර තිබුණි.

පෙත්සම් මැයි 11 දින කැඳවූ අවස්ථාව

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දූ ප්‍රනාන්දු සහ එස්.තූරෙයිරාජා යන විනිසුරු මඩුල්ලකින් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ චරිත ගුණරත්න විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 11 දිනයේ දී කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මැතිවරණය කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණයට අදාළව මනාප අංක නිකුත් කිරීමේ කටයුතු මැයි 12 දින සිදු කිරීමට නියමිතව තිබෙන බවයි.

එසේ වුවහොත් මැතිවරණ අපේක්ෂකයින් ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් විදි බැස මැතිවරණ කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දුන්නේය.

එය මහජනතාවට විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතු කිරීමට හැකි අවස්ථාවක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම මෙම පෙත්සම් සියල්ල ජාතික වැදගත්කමකින් යුක්ත වන පෙත්සම් බැවින් ශ්‍රේෂ්ඨාධීකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීම සිදුකරන ලෙස ද ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීම අවසානයේ ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටියේ එකී සියලුම කරුණු සැළකිල්ලට ගෙන මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නීතිපතිවරයාගේ මැදිහත්වීම

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපති වෙනු⁣වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ නීතිපතිවරයා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉන්දිකා ද සිල්වා කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාව මැයි 11 දිනයේ දීත් මැතිවරණ කොමිසමේ කොමිසමේ දී පැවැත්වීමට නියමිත බවයි.

එසේම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටිය ද එය අගවිනිසුරුතුමන් විසින් තීරණය කළ යුත්තක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේය.

අගවිනිසුරුවරයාගේ තීරණය

සියලු පාර්ශවයන් විසින් කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් පසු විවෘත අධිකරණය හමුවේ අදහස් දැක්වූ අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය කියා සිටියේ මේ වන විට රටේ පවතින වාතාවරණය අනුව මැතිවරණය පැවැත්වීම පිළිබඳ බොහෝ සාකච්ඡාවන් සිදුවන බවයි. එබැවින් දිනය තුළ අධිකරණ ශාලාව තුළ ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වමින් කාලය ගත කළ යුතු නැති බවද අගවිනිසුරුවරයා කියා සිටියා.

එසේම මේ සම්බන්ධව පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති හෙයින් අදාළ සියලු පාර්ශවයන් වෙත ඇහුම්කන් දීම සිදු කළ යුතු බව ද අගවිනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එබැවින් සියලු පෙත්සම් සළකා බැලීම සඳහා මැයි මස 18 සහ 19 දෙදින නියම කළ අගවිනිසුරුවරයා කියා සිටියේ එහි දී සියලු පාර්ශව වෙත කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන බවයි.

එතෙක් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ ගැනීම අයිතිය මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් ඔවුන්ට එම කටයුතු සම්බන්ධයෙන් තීරණ ගත හැකි බවත් අගවිනිසුරුවරයා පැවසීය.

පැවරූ පෙත්සම් සියල්ල පහතින්

  1. ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම හා එහි පසුබිම
  2. ජුනි 20 මැතිවරණ දිනයට එරෙහිව වික්ටර් අයිවන් ඇතුළු පිරිසකගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
  3. ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහිව සජිත්ගේ සමගි ජනබලවේගයෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
  4. මැතිවරණයට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තුගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
  5. මැතිවරණයට එරෙහිව චම්පිකගෙන් හා වෙල්ගමගෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Rivira FB Group Rivira Youtube
To Top