කොවිඩ්-19

මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය ලේකම්වරයා ලෙස රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මැයි 11 සඳුදා අමාත්‍යංශයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇත.

මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ භද්‍රානි ජයවර්ධන යි. ඇය එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් සංජීව මුණසිංහ ඊට පත් කිරීමට නියමිත බවත් රිවිර.lk මැයි 10 දින වාර්තා කළා.

මේජර් ජෙනරාල් මුනසිංහ නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරනු ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව කියා සිටියා.

සංජීව මුණසිංහ යනු කවුද?

විශේෂඥ වෛද්‍යවරයෙකු වන සංජීව මුණසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. ඔහු 1960 වසරේ දී උපත ලබා ඇති අතර කළුතර ඥානෝදය විද්‍යාලය හා කළුතර තිස්ස විද්‍යාලයේ සිය අධ්‍යාපනය ලබා ඇත.

උසස් පෙළ සමත් වීමෙන් පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී ඇති අතර 1986 දී වෛද්‍ය උපාධිය MBBS සම්පූර්ණ කළේය. උපාධිය සම්පූර්ණ කළ ඔහු වෘත්තීය පදනම මත 1986 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී පුහුණුවෙන් අනතුරුව කපිතාන්වරයෙක් වශයෙන් සක්‍රීය සේවය එක් වී තිබෙනවා.

ඔහුගේ හමුදා දිවිය තුළ ඔහුට ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙක් වන අතර ඔහුට පිරිනමන ලද පදක්කම් අතර රණ වික්‍රම පදක්කම, රණ සූර පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂන, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම ඇතුළු රාශියකට හිමිකම් ලබන නිලධාරියෙකි.

ශ්‍රී ලංකාවේ පිළිගත් විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වන මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ 2014 වසරේ දී ශ්‍රී ලංකා යුධ හමුදා සෞඛ්‍ය සේවයේ පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා වශයෙන් ද කටයුතු කරමින් සිටියේය.

ඔහු විවාහ වී සිටින්නේ ද ශ්‍රී ලංකා යුධ හමුදා නිලධරිනියක වන බ්‍රිගේඩියර්, වෛද්‍ය ඩීටීඑන් මුණසිංහ සමගයි.

Rivira FB Group Rivira Youtube
To Top