,
Covid-19

අමාත්‍යංශ 7කට නව ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ 7ක් සඳහා නව ලේකම්වරු පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව තහවුරු කරමින් මැයි 11 දින මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත් කර ඇත්තේ එස්.එම්. මොහොමඩ් වන අතර ඇය ඊට පෙර සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය. අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා ජේ.ජේ. රත්නසිරි වන අතර ඔහුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ සිටී.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි එස්.හෙට්ටිආරච්චි, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටී.

මහවැලි අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න, කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියේ ඒ.එස්.එම්.එස්. මහානාම යි.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ධූරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා පත් කර තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

මේ අතර අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.බී. ජයවර්ධන පත් කර ඇති අතර එම ධූරයේ මීට පෙර කටයුතු කරමින් සිටියේ ජී.කේ.එස්.එල්. රාජදාස යි.

මේ අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ පත් කළ අතර එහි ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියේ භද්‍රානි ජයවර්ධන යි.

පත්වීම් ලබාගත් ලේකම්වරුන් කිහිප දෙනෙකු දිනය තුළම රාජකාරි ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු විශ්‍රාම ගැනීම සහ සේවා අවශ්‍යතා මත ඉහත පත් කිරීම් සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Rivira Ads
To Top