දේශපාලන

කරූ පොලිස් කොමිසමට බලපෑම් කළා ද?

(රිවිර.LK, 2020 මැයි 16 පස්වරු 05.26ට)

“හිටපු කතානායකවරයා කළ බලපෑමක්” සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ. කරලියද්ද විසින් කොමිසමේ සාමාජිකයින් ඉදිරියේ කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉරිදා පුවත්පත් දෙකක සහ වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබුණි.

එය ඉතාම බරපතල ආකාරයේ චෝදනාවක් වූ බැවින් එම තොරතුර සම්බන්ධයෙන් රිවිර.lk විශේෂ සොයා බැලීමක් සිදුකරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී පොලිස් කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ තමන්ටත් එවැනි පුවතක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණද කොමිසම තුළ එවැනි යමක් සාකච්ඡා වූ බවට වාර්තා නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. එමෙන්ම පොලිස් කොමිසමේ සභාපතිවරයා ද එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටින බවද ඔහු සඳහන් කළා.

අදාළ පුවත් වාර්තාවේ සඳහන් වූයේ කුමක්ද?

ඉරිදා පුවත්පතක දැක්වුනු වාර්තාවට අනුව කියැවුනේ පොලිස් නිලධාරීන් මාරු කිරීම සම්බන්ධයෙන් ගත් ඇතැම් තීරණ අවලංගු කරන ලෙසට හා එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට වැටුප් වර්ධකයක් ලබා දීමට අදාළව හිටපු කතානායක කරූ ජයසූරිය තමන්ට බලපෑම් කළ බව පොලිස් කොමිසමේ සභාපතිවරයා කොමිසම ඉදිරියේ පවසා ඇති බවයි.

එසේම ඒ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කතානායකවරයාට ඇති බලය සම්බන්ධයෙන්ද එම වාර්තාවෙන් ප්‍රශ්න කර තිබූ අතර ජනාධිපතිවරයාගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු විය යුතු බවද සඳහන් කර තිබුණා.

කරූගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් රිවිර.lk හිටපු කතානායක කරූ ජයසූරියගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරියගේ මාධ්‍ය අංශය සඳහන් කළේ අදාළ පුවත් වාර්තා “සාවද්‍ය හා ද්වේශ සහගත පුවතක්” බවයි. එමෙන්ම පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර ඇති වු සාකච්ඡාවක් වෙනත් කිසිදු මුලාශ්‍රකින් තහවුරු නොකොට ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු බව දක්වමින් ප්‍රධාන පුවතක් ලෙස පළ කිරීම “අතිශයින් පහත් හා හාස්‍යජනක වාර්තාකරණයක්” බව ද කරූ ජයසූරියගේ මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම එම පුවත මගින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ සමස්ත කොමිෂන් සභාවන් හී ක්‍රියාකාරිත්වය පිළිබඳව වැරදි මතයක් සමාජ ගතකොට කිසියම් ප්‍රජාතන්ත්‍ර වීරෝධි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා පසුබිම සකස් කිරිම” එහි අරමුණ බව ද ඔවුන් කියා සිටිනවා.

එම නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ “1999 අපකීර්තිමත් වයඹ මැතිවරණයෙන් පසුව” දිගින් දිගටම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් හා ස්වාධීන පොලිස් කොමිසමක් වෙනුවෙන් කරු ජයසුරිය පෙනී සිටි බවයි. එමෙන්ම එම කොමිෂන් සභා හඳුන්වා දෙනු ලැබු 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ පුරෝගාමියෙකු ලෙස කරූ ජයසූරිය කටයුතු කළ බවද මාධ්‍ය අංශය කියා සිටී.

පුවතට එරෙහිව “නීතිමය පියවර”

එමෙන්ම අදාළ පුවත මඟින් සිදුකර ඇති බව කියන “ද්වේශ සහගත අපහාසයට” එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කරු ජයසුරිය නිසැකවම කටයුතු කරනු ඇති බවද කරූ ජයසූරියගේ මාධ්‍ය අංශය කියා සිටී.

පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට රිවිර.lk දරූ සියලු උත්සාහයන් මේ ලිපිය පළ කරන තෙක්ම සාර්ථක වූයේ නැත.

Rivira FB Group Rivira Youtube
To Top