(RIVIRA.LK අවසන්වරට යාවත්කාලීන කිරීම – ජුනි 03 පස්වරු 06.44ට)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට ගන්නවාදැයි සළකා බැලීම සඳහා මැයි 18 පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ කැඳවීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේ දී අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන හා විනිසුරු විජිත් මලල්ගොඩ ඉදිරියේ අදාළ පෙත්සම් කැඳවා තිබෙනවා.
මූලික අයිතිවාසිකම් පෙත්සම් 7ක් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව කීපයක් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් 11ක් මෙහිදී සළකා බැලෙනු ඇත.
- චරිත ගුණරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම
- වික්ටර් අයිවන් ඇතුළු පිරිසකගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- සජිත්ගේ සමගි ජනබලවේගයෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- පාක්‍යසෝති සරවනමුත්තුගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- චම්පිකගෙන් හා වෙල්ගමගෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මින් පහළ ඇති කොටස නවතම තොරතුරු සමගින් යාවත්කාලීන වේ.
මැයි 18 පස්වරු 1.40 වාර්තාව – නීතිපතිගෙන් මූලික විරෝධතා
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා විසින් අදාළ පෙත්සම් වලට එරෙහිව ප්‍රධාන කරුණු 3ක් යටතේ මූලික විරෝධතා ඉදිරිපත් කළාය.
ඒ අනුව අදාළ පෙත්සම්, මූලික අයිතිවාසිකම් පෙත්සම් ලෙස ගොනු කර ඇති බවත්, ඒවා නියමිත කාල සීමාව තුළ ගොනු කර නැති බවත් පෙන්වා දී තිබෙනවා. එසේම අදාළ පෙත්සම් මගින් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති කටයුතු සදහන් කර තිබුණත් ඇතැම් පෙත්සම්වල, පෙත්සමේ පාර්ශවකරුවෙකු ලෙස ජනාධිපතිවරයාව නම් කර නැති බවද පෙන්වා දී තිබෙනවා. එසේම අදාළ පෙත්සම් මගින් ඉල්ලා ඇති සහනයන්, ලබා දීය නොහැකි ආකාරයේ සහනයන් බවද වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව එම තත්වයන් යටතේ මෙකී පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.
පස්වරු 3.00 වාර්තාව – ජනාධිපති ලේකම්වරයාගෙනුත් විරෝධතා
පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා තවත් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කළේය.
එමගින් ඔහු කියා සිටියේ සත්‍ය කරුණු වසන් කරමින් අදාළ පෙත්සම් ගොනු කර ඇති බවයි. තවද අදාළ පෙත්සම් නීතියට පටහැනි ආකාරයෙන් ගොනු කර ඇති බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. ඒ අනුව මෙම පෙත්සම් සළකා බැලීමකින් තොරව ඉවත දමන ලෙස ඔහු අධිකරයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතිඥ සුමන්තිරන් කරුණු දක්වමින්
පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව මාස තුනකට වඩා නොකැදවා සිටිය නොහැකි බවයි. එබැවින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව වුවත් නව පාර්ලිමේන්තුව කැඳවීමට අවකාශ නැතිනම් පැරණි පාර්ලිමේන්තුව හෝ කැඳවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදුකළ යුතු බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔහු කියා සිටියා.
එසේම මැතිවරණය සදහා නාමයෝජනා ලබා ගැනීම නිසි පරිදි සිදු වී නැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ රජයේ නිවාඩු දින ලෙසට ප්‍රකාශ කර ඇති දිනවල නාමයෝජනා කැදවා ඇති බවයි.
එසේම මැතිවරණය ජුනි 20 දින පැවැත්වීම මේ වන විට කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේය. මැතිවරණ පනත අනුව ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු සිදුකිරීම අවම සති 5ක කාලයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පනත උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
පස්වරු 4.20 වාර්තාව – වැඩිදුර කරුණු සළකා බැලීම මැයි 19 තෙක් කල් තැබේ
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්ගේ කරුණු දැක්වීම අවසන් කිරීමෙන් අනතුරුව, මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි සලකා බැලීම සඳහා මැයි 19 පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවීමට නියම කරමින් කල් පෙත්සම් සළකා බැලීම කල් තැබිණි.
මැයි 19 පස්වරු 2.45 වාර්තාව – සමගි ජනබලවේගයේ පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම
මැයි 19 දින පෙරවරු 10ට පෙත්සම් විභාගය ආරම්භ කිරීමත් සමග සමගි ජන බලවේගය, චම්පික රණවක හා කුමාර වෙල්ගම යන පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දැක්වම ආරම්භ කළේය.
එම නීතිඥවරයා ද කියා සිටියේ යම් අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වඩා වැඩි කාලයක් යළි රැස් නොවී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අවසර නොමැති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දින විසුරුවා හැරි පාර්ලිමේන්තුව ජුනි මස 02 දිනට පෙර රැස්විය යුතු බව ඔහු පෙන්වා දුන්නා. යම්හෙයකින් එසේ රැස් විය නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වන බව ද ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
ඒ අනුව සිදුවන්නේ විසුරුවා හරින ලද පැරණි පාර්ලිමේන්තුව යළි සක්‍රීය තත්වයට පත්වන බව ද ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
එසේම අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ එම වියදම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් හිමි වී නැති බවයි.
2019 වසරේ දී සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමිව ඇත්තේ 2020 අප්‍රේල් 30 දින තෙක් පමණක් බවටද නීතිඥවරයා තර්ක කළා.
පස්වරු 3.15 වාර්තාව – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්ගේ කරුණු දැක්වීම
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් වන අතර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔහු ද පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව මාස තුනකට වැඩි කාලයක් යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් හිමි වී නැති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 02 දින නිකුත් කළ ගැසට් නිවේදනයෙන් දක්වා තිබූ පරිදි මහ මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය යුතු බවටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 දින රැස්විය යුතු බවටත් විධාන කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
නමුත් ජනාධිපතිවරයාගේ නියමය පරිදි අප්‍රේල් 25 දින මහා මැතිවරණය පැවැත්වීමටවත් මැයි මස 14 දින නව පාර්ලිමේන්තුව රැස් කිරීමටවත් නොහැකි වූ බව ඔහු කියා සිටියා. එබැවින් ඔහු ද පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 02 දින නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බල රහිත වන බවයි.
මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට අනුව මහමැතිවරණය සඳහා දින නියම කිරීමේ බලය ජනාධිපතිවරයාට පමණක් හිමිවන බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබූ “අප්‍රේල් 25 නම් දිනය” වෙනස් කර “ජුනි 20” ලෙස වෙනත් දිනයක් මහමැතිවරණය පැවැත්වීම සඳහා නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීම “නීති විරෝධී ක්‍රියාවක්” බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා එම තීරණය මගින් මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක් ද සිදු කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවනමුත්තු ගොනු කර තිබූ පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තමන් ඉදිරියේ දී මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ විරාන් කොරයා වන අතර ඔහු ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ඉක්මවන දිනයට පෙර මහමැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බව දක්වා ඇති බවයි.
එම කරුණු අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු 02 දින නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වීම නම් ඒ අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි 02 දිනට පෙර රැස්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව නීතිඥවරයා කියා සිටියා.
එහෙත් වත්මන් තත්ත්වය හමුවේ ජුනි 02 දින පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි වී ඇති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ අනුව මාර්තු 02 දින ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ප්‍රකාශය අඩංගු ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල රහිත වන බවත් කියා සිටියා.
එම කරුණුවලට යටත්ව ජුනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත වන බවයි නීතිඥවරයා කියා සිටියේ.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක විසින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරුන් පෙන්වා දුන්නේ එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු කථානායක කරු ජයසූරිය වෙත නොතීසි භාර දී නැති බවයි. ඒ අනුව හිටපු කතානායකවරයා වෙත නොතීසි භාරදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරුන් ආරිවංශ දිසානායකගේ නීතිඥවරයාට නියෝග කළේය.
පෙත්සම් සළකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම මැයි 20 තෙක් කල් තැබේ
ඒ අනුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම පෙත්සම ඇතුළු ඉදිරි අධිකරණ කටයුතු මැයි 20 පෙරවරු 10 තෙක් කල් තැබීය.
මැයි 20 පෙරවරු 11.30 – පෙත්සම් සළකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම 3 වැනි දිනටත් ඇරඹෙයි
මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම තුන් වැනි දිනයටත් මැයි 20 දින පෙරවරු 10.30ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.
පස්වරු 2 වාර්තාව – මැතිවරණ කොමිසම සහ එහි සභාපති මහින්ද දේශප්‍රිය සහ නලින් අබේසේකර යන වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම
මැතිවරණ කොමිසම සහ එහි සභාපති මහින්ද දේශප්‍රිය හා සාමාජික නලින් අබේසේකර යන වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති, ජනාධිපති නිතිඥ සාලිය පීරිස් වන අතර ඔහු කියා සිටියේ වර්තමානයේ උදාවී ඇති තත්වය අනුව “ජුනි 20” යන දිනයේදීත් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි.
ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් රටේ තත්වය පිළිබඳ “කොළ එළියක්” ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
එහෙත් අදාළ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ මහමැතිවරණය පැවැත්විය හැකි බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
එසේම මාර්තු 17 දින සිට 20 දින දක්වා විශේෂ නිවාඩු දින වල නාමයෝජනා කැදවීමට අදාළව එම අවස්ථාවේ කිසිදු විරෝධතාවයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත්ව නොතිබූ බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
පස්වරු 2.30 වාර්තාව – චරිත ගුණරත්න ඉදිරිපත් කළ පෙත්සම ඉවත් කරගනී
ජුනි 20 දින මැතිවරණය පැවැත්වීම සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීම නිසා නීතිඥ චරිත ගුණරත්න ගොනු කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ තම සේවාදායකයා ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා සිටි සහනය ඒ අනුව හිමි වී ඇති නිසා එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයන බවයි.
පස්වරු 3.00 වාර්තාව – වගඋත්තරකාර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් කරුණු දැක්වීම
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නීතිඥ අස්ථික දේවේන්ද්‍ර වන අතර ඔහු කියා සිටියේ මාර්තු 17-19 අතර විශේෂ නිවාඩු දිනයක් මිස රජයේ නිවාඩු නොවන බව සඳහන් කරමින් කොමිසම වෙත මුලින් මාධ්‍ය නිවේදනයක් ලැබී තිබූ බවයි. කෙසේ වෙතත් පසුව කොමිසමට ගැසට් පත්‍රයක් හරහා දැන ගැනීමට ලැබුණේ ඒවා රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇති බව යැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයා කියා සිටියා.
එවැනි තත්වයක් තුළ නිවාඩු පනතට අනුව රජයේ නිවාඩු දිනයක් වැඩ කරන දිනයක් නොවන නීතිඥ දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ කොමිසම කටයුතු කර ඇත්තේ ලැබුණු මාධ්‍ය සන්නිවේදනයක් මත බවයි. එහෙත් එම දිනයන්හි බාරගත් නාමයෝජනා අවලංගු වන බව දැන් පෙනී යන බව මහාචාර්ය හූල් වෙනුවෙන් කරුණු දක්වමින් එම නීතිඥවරයා පෙන්වා දුන්නා.
පස්වරු 4.00 වාර්තාව – පෙත්සම් සළකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම මැයි 21 තෙක් කල් තැබේ
ජුනි 20 මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම මැයි 21 පෙරවරු 10 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.
මැයි 21 පස්වරු 05.04 වාර්තාව – සිව්වැනි දිනයටත් පෙත්සම් සළකා බැලීම ඇරඹෙයි
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මැයි 21 හතර වන දිනටත් ආරම්භ විය.
වගඋත්තරකාර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් කරුණු දැක්වීම
පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වන අතර ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. එබැවින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවට ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළා.
එහිදී “කොරෝනා වසංගතය” ගැන කියමින් මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් මෙන්ම හැකියාවක් ද නොමැති බව ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නා. කළ යුත්තේ කිසියම් සෞඛ්‍ය අංශ සමග එක්ව ආරක්ෂිත ක්‍රමවේදයන් සකස් කරමින් ඒ යටතේ මැතිවරණය පැවැත්වීම බවත් මැතිවරණ කොමිසම ඒ සඳහා උනන්දු විය යුතු බවත් රොමේෂ් ද සිල්වා අවධාරණය කර සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එම පාර්ලිමේන්තුවේ නිල කාලය නිල වශයෙන් අවසන් වන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ එලෙස විසුරුවා හැරීමෙන් පසුව “මැතිවරණය පවත්වන දිනය” වෙනස් වූ පමණින් “විසුරුවා හැරීමේ නියෝගය” බල රහිත වන බව කීම පවා වැරදි බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව “විසුරුවා හැරීමේ නියෝගය” නිකුත් කළ පසු එය කිසිසේත් බල ශූන්‍ය නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැඩි ලෙස අවධාරණය කළා.
ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) අනුව්‍යවස්ථාව යටතේ සිදුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අවධාරණය කර සිටියේ අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත් එය කිසිසේත් අභියෝගයට ලක් කළ නොහැකි බවත් අධිකරණය පෙන්වා දෙමිනි.
එසේ විසුරුවා හැරීමෙන් පසු, පැවති පාර්ලිමේන්තුවේ කාල සීමාව නිල වශයෙන් අවසන් කර ඇති බැවින් යළි කැඳවීමට පාර්ලිමේන්තුවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
එසේම රටේ උද්ගත වී ඇති තත්ත්වය අනුව මැතිවරණය කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව පෙන්වාදුන් රොමේෂ් ද සිල්වා කියා සිටියේ එය මැතිවරණ ක්‍රියාවලියේම කොටසක් බවයි.
එහෙත් මැතිවරණය මේ අවස්ථාවේ කල් දමා තිබුණත් කොමිෂන් සභාව පවසන පරිදි යළි මැතිවරණය පැවැත්වීමට දින 60 ට වඩා අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් එය මාස එක හමාරක කාලයක් තුළ පැවැත්විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
එසේම කල් ඉකුත් වූ පැරණි පාර්ලිමේන්තුවක් යළි කැඳවීමක් සිදුවුවහොත් එය මහජනතාවගේ ස්වාධිපත්‍යයට සිදුකරන බරපතළ හානියක් වන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නා.
මැයි 22 පස්වරු 02.30 වාර්තාව – පස්වැනි දිනයටත් පෙත්සම් සළකා බැලීම ඇරඹෙයි
ජුනි මස 20 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සලකා බැලීම මැයි 22 සිකුරාදා පස් වන දිනටත් පෙරවරු 10.15ට පමණ ආරම්භ විය.
වගඋත්තරකාර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් වැඩිදුර කරුණු දැක්වීම
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දක්වමින් සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා පස්වැනි දිනයේ කරුණු දක්වමින් කියා සිටියේ කොවිඩ්-19 තත්වය තුළ රටේ වත්මන් තත්ත්වය මැතිවරණ ක්‍රියාදාමයට බලපෑමක් නොවන තත්වයක ඇති බවත් මැතිවරණ කටයුතු යළි ආරම්භ කළ හැකි බවත් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් තම සේවාදායක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවයි. කොවිඩ්-19 ආසාදිතයින් සුවවීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගෙන ඇති බවත් මරණ අනුපාතය පහළ අගයක පැවතීමත් මත ශ්‍රී ලංකාව සාර්ථකව කොවිඩ්-19 මර්දනය කර ඇති බව පැහැදිලි වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියා.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් සිටින බවත් නිරෝධායන කටයුතු ද සාර්ථකව සිදු කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද ඇතුළත් වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ සෞඛ්‍ය නිරේදේශ සහ පුරුදු ඉදිරියට ද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඒවා අනුගමනය කරමින් කටයුතු කළ හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. රටේ සෞඛ්‍ය බලධාරීන් එවැනි මතයක් ප්‍රකාශ කර තිබියදීත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටීම ගැටළු සහගත කරුණක් බව ද ජනාධිපති නීතීඥවරයා කියා සිටියා.
එසේම කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිසම විසින් යොමුකළ ලිපියක් මගින් එම දීමනා ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියෙන් දේශපාලනය ඉවත් විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය. එය දේශපාලන ක්‍රියාවලියක් නොවන බවත් ලොව පුරා රටවල් රැසක් විසින් කොවිඩ්-19 ලෝක වසංගත තත්වයෙන් පීඩාවට පත්ව ඇති පිරිස් වෙත ආධාර කිරීම සිදුකරනු ලබන බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වීම අවසන් වූ පසු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කෙරෙනු ඇත.
මැයි 26 පස්වරු 10.30 වාර්තාව – හයවැනි දිනයටත් පෙත්සම් සළකා බැලීම ඇරඹෙයි
ජුනි මස 20 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සලකා බැලීම මැයි 26 අඟහරුවාදා හය වන දිනටත් පෙරවරු 10ට පමණ ආරම්භ විය.
මැයි 26 දින හය වන දිනයටත් පෙත්සම සළකා බැලීමේ දී ඉදිරිපත් වූ කරුණු අද දෙරණ පුවත හරහා නරඹන්න.
මැයි 27 දින හත් වන දිනයටත් පෙත්සම සළකා බැලීමේ දී ඉදිරිපත් වූ කරුණු අද දෙරණ පුවත හරහා නරඹන්න.
මැයි 28 දින අට වන දිනයටත් පෙත්සම සළකා බැලීමේ දී ඉදිරිපත් වූ කරුණු අද දෙරණ පුවත හරහා නරඹන්න.
මැයි 29 දින නම වන දිනයටත් පෙත්සම සළකා බැලීමේ දී ඉදිරිපත් වූ කරුණු අද දෙරණ පුවත හරහා නරඹන්න.
ජුනි 01 පෙරවරු 11.20 වාර්තාව – දසවැනි දිනයටත් පෙත්සම් සළකා බැලීම ඇරඹෙයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අතරමැදි පෙත්සම් ජුනි 01 දින පෙරවරු 10ට පමණ දහ වන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබේ.
ජුනි 01 පස්වරු 06.40 වාර්තාව – මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද? තීරණය ජුනි 02 සවස 3ට
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම ජුනි 01 දින අවසන් කළා.
ඒ අනුව එම පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව ජුනි 02 දින පස්වරු 03.00ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.
ජුනි 02 පස්වරු 10.40 වාර්තාව – මැතිවරණයට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේප කරයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.
අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන හා විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීන්දු කළ බව අගවිනිසුරුවරයා දන්වා සිටියා.
මේ ගැසට් නිවේදන දෙක මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08ක් ගොනු කර තිබුණි. නීතිඥ චරිත ගුණරත්න, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගය පෙත්සම්කරුවෝ ඒ අතර වූහ.
එම පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ව්‍යාපාරික සම්පත් මෙරින්නගේ, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් විසින් අතරමැදි පාර්ශ්ව පෙත්සම් 15ක් ඉදිරිපත් කර තිබුණි.

