කොවිඩ්-19

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය ගැන පැතිර යන කතාවල සත්‍ය මෙන්න

(RIVIRA.LK, 2020 මැයි 18 පස්වරු 07.50ට)

ඩුබායි හි සිට පැමිණි ගුවන් යානයකින් නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණගේ දියණිය මෙරටට පැමිණ ඇති අතර ඇයව කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකොට, නීතිවිරෝධී ලෙස සිය නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවක් සඳහන් කරමින් යම් පුවතක් වෙබ් අඩවියක පළ කර තිබුණි.

ඒ සමගම එය සමාජ ජාල තුළ බොහෝ දෙනා අතර හුවමාරු වූ අතර තවත් වෙබ් අඩවි ගණනාවකද පළ වී තිබුණි.

මේ සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ තම දියණිය ශ්‍රී ලංකාවට පැමිණියේ නැති බවයි. එසේම ඇය තවදුරටත් බෙලරුස් රාජ්‍යයේම රැඳී සිටින බවද අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

එහෙත් නැවතත් මුල් පුවත පළ කළ වෙබ් අඩවිය විසින් වාර්තාවක් පළ කරමින් කියා සිටියේ ඔවුන්ගේ මුල් වාර්තාවේ සඳහන් කළ ගුවන් යානය වැරදී තිබූ බවයි. ඒ අනුව පසුගිය මැයි 08 දින යුක්‍රේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි, PQ 5903 දරණ ගුවන් යානයෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ දියණිය මෙරටට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී අජිත් රෝහණ විසින් සිය මෝටර් රථය ගුවන් පථය ඔස්සේ ගුවන් යානය ළඟටම ගෙන ගොස් සිය දියණිය බාරගෙන ඇති බවද සඳහන් කර තිබුණි. එසේම එම අවස්ථාවට අදාළ සීසීටීවී දර්ශන ඉවත් කර ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ව තිබුණි.

මේ අතර නැවත වතාවක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන්ගේ දියණිය බෙලාරූස් හි සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවට පළවන සියලුම පුවත් අසත්‍ය බවයි.

එසේම එවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි තමන්ට නොවැටහෙන බවත් ඔහු කියා සිටියා. එමෙන්ම තමන්ට පොලිස් නිලධාරියෙකු ලෙස ඕනෙම අභියෝගයකට මුහුණ දිය හැකි බවත් අජිත් රෝහණ කියා සිටියා.

ඔහු පවසන්නේ ඔහුට එක් ඉල්ලීමක් ඇති බවයි. ඉගෙන ගන්න ළමයි ඉන්න දෙමාපියන් වශයෙන් අදාළ වෙබ් අඩවි පවත්වාගෙන යන අය ළමයින්ගෙ මනසට, විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ගෙ මනසට හිරිහැර වෙන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණගේ දියණිය වන තුරුණි සහශ්‍රිකා බෙලරූස් රාජ්‍යයේ සිට සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝපටයක් නිකුත් කරමින් අදාළ පුවත් වාර්තා අසත්‍ය බවත් තමන් තවදුරටත් රැඳී සිටින්නේ බෙලරූස් රාජ්‍යයේම බවත් කියා සිටිනවා. එසේම ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවද කියා සිටිනවා.

එම වීඩියෝව පහතින්.

කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙකු වන නීතිඥ අජිත් රෝහණගේ ද මානසිකත්වයට ප්‍රබල බලපෑමක් කරමින් මෙලෙස ව්‍යාජ පුවත් හරහා අභූත චෝදනා නැගීම තුළින් යමෙක් අපේක්ෂා කරන්නේ කුමක්දැයි යන්න සමාජ ජාලා තුළ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසා සිටිනවා.

එසේම මේ හරහා ද සිදුවන්නේ කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීමට වෙහෙසෙන රාජ්‍ය නිලධාරීන් පීඩාවට පත් කිරීමක් බවයි බොහෝ දෙනෙකු කියා සිටින්නේ.

Rivira FB Group Rivira Youtube
To Top