දේශීය පුවත්

රටම නිදහස් කළ විජයග්‍රහණයේ 11 වන සැමරුමට සියල්ල සූදානම්

(RIVIRA.LK, 2020 මැයි 19 පස්වරු 12.03ට)

යුද, නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු හි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය මැයි 19 පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව යුධ හමුදාව පවසනවා.

එම ජාතික උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් (Admiral of the Fleet), ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.

සෞඛ්‍ය අංශයන් ලබාදී ඇති උපදෙස් සඳහා මුල්තැනක් ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතයි.

2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1,160), ගුවන් හමුදාවේ (443) සහ පොලිසියේ (2,598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව විරෝදාර රණවිරුවන්ගේ නිර්භිතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමෙන් පසුව ආගමික වතාවත් සිදු කිරිමට නියමිතය.

මෙහිදී ‘රණබෙර’ වාදනය කරනු ලබන අතර ගුවනින් සිදුකරනු ලබන පුෂ්පෝපහාර මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන් සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් මෙන්ම දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් රණවිරු ස්මාරකය පාමුල මල් කළඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන්වීමට නියමිත බවද යුධ හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top