(RIVIRA.LK, 2020 මැයි 19 පස්වරු 06.43ට)
රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් වෙත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමට තමා කිසිවිටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.
පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ඇති රණවිරු ස්මාරකය අභියස මැයි 19 පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
රටට සහ රණවිරුවන් අසාධාරණයක් වන ආකාරයට යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ බව ඉංග්‍රීසී භාෂාවෙන් ද විශේෂයෙන්ම ප්‍රකාශ කිරීම කැපී පෙනුනු සිදුවීමක් විය.
ලෝකයේ බලවත්යැයි හඳුන්වන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ප්‍රකාශ කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ අප වැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවන බවයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සක්‍රීය සේවයේ වසර 20ක් සේවය කළ නිලධාරියෙකු ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා ලෙස වසර 10කට ආසන්න කාලයකුත් සේවය කළ නිලධාරියෙකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති තුමන් විසින් සිදුකල සම්පූර්ණ කථාව පහත දැක්වේ.
11 වන රණවිරු සැමරුම් උළෙල අමතා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව -2020-05-19
මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි දිනයක්. මීට වසර 11 කට පෙර 2009 මැයි මස 19 දා, අපි වසර 30 කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කලා.
සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනුයි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්, තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විදිමටත් හැකි වාතාවරණයක් ඇති කර දෙනු ලැබුවා.
වසර 30 ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බාධාවකින් තොරව, රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යලි උදාකර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීම සඳහා අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කලා.
යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය පිලිනොගන්නා ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.
ඒ අවුරුදු 30 ඇතුලත, එක් ප්‍රදේශයක නෙමේ, රටේ සෑමතැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුනා. මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුනේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි.
රණවිරුවන් කල ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත්වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.
බුදු දහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලූම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සෑම ජනකොටසකටම සමානව ජීවත්වීමේ අයිතිය තිබුනා.
අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුනානම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුධ බිය ජන ජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුන රටක් බවට ලංකාව පත් වෙනවා.ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුලුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කල සියලූම වීරෝධාර රණ විරුවනට ලබා දිය යුතුයි.
දශක 3 ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුලු සියලු රණවිරුවන්ව අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
යුධ හමුදාවේ අවුරුදු 20 ක් සක්‍රීය සේවයේ යෙදුන නිලධාරියෙකු ලෙසත්, පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පුරවැසියෙකු ලෙසත් අපේ රණවිරුවන් කල කැප කිරීම පිලිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නෙ නෑ.මගේ රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා.
ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කල රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ.
ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතනයේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ.
දශක 3 ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයු සියලූම රණ විරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුදකරනවා.
රණ විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීම ඔවුන්ට කල හැකි ඉහලම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලූම දේශ මාමක පුරවැසියන්ගෙන් මේ රණ විරු ස්මාරකය අභියසදී මම ඉල්ලා සිටිනවා.
ඔබ සැමට ස්තූතියි
ජනාධිපතිතුමාගේ රණවිරු දින පණිවඩුය මෙසේය.
“බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් මේ සටහන තබනුයේ සතුට සහ අභිමානය පිරි සිතැතිව ය.
2009 මැයි මස 19 වැනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන, සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාරයයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයකි. එකී අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවර රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකිවීම ගැන මම අතිශය සතුටට පත්වෙමි.
පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කම්පාවට සහ වික්ෂිප්තභාවයට පත්ව සිටියහ. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් අපේ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ ඒ වකවානුවේදී සිදුවිය. ඉන් සංවේගයට පත් ජනතාවගේ අපේක්ෂාව වූයේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට ඔවුන්ට නිසි ගෞරවය අත්කර දීමය. මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට අපට හැකිවිය.
දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය. ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව තිබේ. කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද අප කිසිවිටෙකත් පසුබසින්නේ නැත. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රට දෙකඩ වීම නතර කළ රණවිරුවාට සහ ඔවුනට උපරිම සහයෝගය දුන් පුරවැසියාට කළ හැකි ඉහළම ගෞරවය එය බව මම තරයේ අදහමි.
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු ප්‍රජාවට මගේ ප්‍රණාමය පුද කරමි.
ගෝඨාභය රාජපක්ෂ – 2020 මැයි මස 19 වන දින”

