කොවිඩ්-19

මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් මිය යයි, සිදුවුනේ කුමක්ද?

(RIVIRA.LK, 2020 මැයි 21 පස්වරු 04.33ට)

පුද්ගලික මට්ටමෙන් සිදුකළ මුදල් බෙදා දීමේ අවස්ථාවක දී ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය යාමේ සිදුවීමක් මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මැයි 21 දින මාලිගාවත්ත, ජුම්මා මාවතේ දරුසලාම් විද්‍යාලය ඉදිරිපිට පිහිටි ස්ථානයක ගබඩාවක් තුළ සිදුවී ඇති අදාළ තෙරපීමෙන් තුවාල ලැබූ 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

සිදුව ඇත්තේ කුමක්ද?

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු දෙහිවල පොලීසියෙන් ඇඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන මාලිගාවත්තේ පිහිටි අදාළ ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී අදාළ ව්‍යාපාරිකයා විසින් මුදල් ලබා දෙන බවට ප්‍රචාරය කර 400ක පමණ පිරිසක් අදාළ ස්ථානය වෙත රැස් කර තිබෙන අතර එහිදී මුදල් බෙදා දීම සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ රාමසාන් උත්සව සමයන් හීදී මෙවැනි ආකාරයේ මුදල් බෙදා දීම් සාමාන්‍යයෙන් සිදුකෙරෙන බවයි. එහෙත් කොවිඩ්-19 වසංගත තත්වය යටතේ නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ද නොතකමින් මෙම ක්‍රියාවලිය සිදුකර ඇති අතර ජනතාව ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින ප්‍රදේශයක් වන කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්තේ සිදුකළ අදාළ කටයුත්ත පොලීසියට හෝ කිසිඳු බලධාරියෙකු දැනුවත් කිරීමට කටයුතු කර නැති බව කියා සිටියා.

තවද රැස්වූ පිරිසට නැවත වාරයක් පැමිණිය හැකි බව කියා මුදල් ලැබීමෙන් පසුත් පිට නොවන ලෙස උපදෙස් දීමත් සමග දැඩි තෙරපීමක් ඇති වී තිබෙනවා.

එම තත්වය තුළ කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දර්ශන අනුග්‍රහය දෙරණ

Rivira FB Group Rivira Youtube
To Top