(RIVIRA.LK, 2020 මැයි 22 පෙරවරු 11.16ට)
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ගෙවීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව ජුනි මාසයේ සිට නොගෙවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැයි 21 දින සඳහන් කළා.
ඒ එම ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති හෙයින් බවද ඔහු කියා සිටියා.
මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත එවා තිබූ ලිපියක් ජනාධිපති ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ නීති රීතිවලට ගරුකරමින් එම දීමනාව ලබන මාසය සඳහා ගෙවීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවයි.
ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ජුනි මාසය තුළ මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බව යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පෙන්වා දුන්නා.
මෙම දීමනාව ලබාදීම කෙතරම් සද්භාවයකින් සිදු කළද මැතිවරණ කොමිෂන් සභාවට එය දේශපානීකරණය වීමක් යැයි හැඟි ගියහොත් එය මැතිවරණ නීති කඩ කිරීමක් වන බව පෙන්වාදුන් ඇමතිවරයා කියා සිටියේ කිසිඳු අයුරකින් මැතිවරණ නීති කැඩීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නැති බවයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ ලිපියෙන් කියා ඇත්තේ කුමක් ද යන්න රිවිර.lk සොයා බැලුවා.
ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් අමතමින් මැයි 17 දින යොමු කළ ලිපියකින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇත්තේ රු. 5,000 දීමනාව ලබා දීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවනතාවය වැඩි වී ඇති බවයි.
තනි පුද්ගලයින්, සිවිල් සංවිධාන මෙන්ම තරඟ කරන අනෙකුත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ද පැමිණිලි යොමු කර ඇති බව පවසන මැතිවරණ කොමිසම කියා සිටින්නේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයක් සිදු නොවන අයුරින් අදාළ කටයුතු සිදුකරන ලෙස නිලධාරීන් දැනුවත් කරන ලෙසයි.
එසේම වසංගත තත්වය පාලනය වී රට සාමාන්‍ය තත්වයට පැමිණ ජනතාවට එදිනෙදා කටයුතු ඉටු කර ගත හැකි තත්වයක් පවතී නම් 2020 ජුනි මාසයේ දී ආධාර ලබා දීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේදැයි යන්න සළකා බැලීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිසමේ මතය වන බවද සිය ලිපියෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටී.
එසේම යම් හෙයකින් ඉදිරියටත් මෙම ආධාරය ලබා දෙන්නේ නම් එයින් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයක් සිදුනොවන බව ප්‍රදර්ශනය විය යුතු බව පවසන මහින්ද දේශප්‍රිය කියා සිටින්නේ ඉන් දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදුනොවිය යුතු බවට මහජනතාව දැනුවත් කිරීමටද කොමිසම කටයුතු කරනු ඇති බවයි.

