(RIVIRA.LK, 2020 මැයි 22 පස්වරු 02.55ට)
ජුනි මස 20 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සලකා බැලීම මැයි 22 සිකුරාදා පස් වන දිනටත් ආරම්භ විය.
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දක්වමින් සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා පස්වැනි දිනයේ කරුණු දක්වමින් කියා සිටියේ කොවිඩ්-19 තත්වය තුළ රටේ වත්මන් තත්ත්වය මැතිවරණ ක්‍රියාදාමයට බලපෑමක් නොවන තත්වයක ඇති බවත් මැතිවරණ කටයුතු යළි ආරම්භ කළ හැකි බවත් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් තම සේවාදායක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවයි.
කොවිඩ්-19 ආසාදිතයින් සුවවීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගෙන ඇති බවත් මරණ අනුපාතය පහළ අගයක පැවතීමත් මත ශ්‍රී ලංකාව සාර්ථකව කොවිඩ්-19 මර්දනය කර ඇති බව පැහැදිලි වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියා.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් සිටින බවත් නිරෝධායන කටයුතු ද සාර්ථකව සිදු කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද ඇතුළත් වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ සෞඛ්‍ය නිරේදේශ සහ පුරුදු ඉදිරියට ද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඒවා අනුගමනය කරමින් කටයුතු කළ හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
රටේ සෞඛ්‍ය බලධාරීන් එවැනි මතයක් ප්‍රකාශ කර තිබියදීත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරිම ප්‍රමාද කර සිටීම ගැටළු සහගත කරුණක් බව ද ජනාධිපති නීතීඥවරයා කියා සිටියා.
එසේම කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ගැන මැතිවරණ කොමිසම විසින් යොමුකළ ලිපියක් මගින් එම දීමනා ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියෙන් දේශපාලනය ඉවත් විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ අවධානය යොමු කළේය.
එය දේශපාලන ක්‍රියාවලියක් නොවන බවත් ලොව පුරා රටවල් රැසක් විසින් කොවිඩ්-19 ලෝක වසංගත තත්වයෙන් පීඩාවට පත්ව ඇති පිරිස් වෙත ආධාර කිරීම සිදුකරනු ලබන බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වීම අවසන් වූ පසු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කෙරෙනු ඇත.
Full Report – මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ තත්වය

