,
Foreign

පාකිස්ථාන ගුවන් අනතුරින් දෙදෙනෙක් දිවි බේරාගෙන – නවතම වාර්තාව

(RIVIRA.LK, 2020 මැයි 23 පෙරවරු 10.48ට)

පාකිස්තානයේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති ගුවන් යානය, පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය බව මැයි 22 සිකුරාදා පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා.

අප මෙතෙක් දන්නා දේ:

  • ගුවන් නියමුවන් අනතුරට පෙර අවසන් මොහොතේ ගුවන් යානයේ තාක්ෂණික දුෂ්කරතාවයක් පිළිබඳ සන්නිවේදනය කර ඇත.
  • ගුවන් පථයේ සිට අඩි සිය ගණනක් දුරින් 99 දෙනෙකු සමග ගුවන් යානය කඩා වැටී තිබේ.
  • මුදා ගැනීමේ උත්සාහයන් සහ මෙහෙයුම් ක්‍රියාත්මකයි; සුන්බුන්වලින් සිරුරු ගොඩ ගැනීමට හමුදා නිලධාරීන් සහ ගලවා ගැනීමේ සේවකයින් යොදවා තිබේ.
  • දිවි ගලවා ගත් දෙදෙනාම ස්ථාවර තත්ත්වයේ පසුවෙති
  • 97 දෙනෙකු මිය ගිහින්
  • වින්දිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබේ

එම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා පියාසර කළ ගුවන් යානයක් වන අතර ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේ දී ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී අනතුරට ලක්ව තිබුණා.

ගුවන් යානයේ මගීන් 91ක් හා කාර්ය මණ්ඩලයයේ 8 දෙනෙකු සිටි බව පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල්ලා හෆීස් තහවුරු කර සිටියා. අනතුරෙන් ගුවන් යානයේ ගමන් කළ 99 දෙනාගෙන් දිවි බේරාගෙන ඇත්තේ දෙදෙනෙකු පමණක් බව වාර්තා වේ. ඒ අනුව 97 දෙනෙකු මියගිය බව පාකිස්ථාන බලධාරීන් තහවුරු කර තිබෙනවා.

අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි එම ස්ථානයේ ඇති නිවාසවලට ද දැඩි හානි සිදුවී ඇති බවත් එම ස්ථානයට හදිසි සේවා ළඟා වී ඇති බවත් ඔවුන් මුදාගැනීමේ කටයුුතුවල නිරත බවත් වැඩිදුර වාර්තා කියා සිටී. එම ස්ථානයෙන් සුන් බුන් ඉවත් කර ගැනීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව එම ගුවන් යානය අයත් පීඅයිඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා කියා සිටියා.

දිවි බේරාගත් දෙදෙනා

සින්ද් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක මීරන් යූසුෆ් තහවුරු කළේ මගීන් දෙදෙනෙකු දිවි ගලවාගෙන රෝහල් වෙත යොමු කර ඇති බවයි. දිවි ගලවා ගත් දෙදෙනාගෙන් අයෙක් පන්ජාබ් බැංකුවේ සභාපති සාෆර් මසූඩ් ලෙස සහ අනෙක් පුද්ගලයා සුබෙයාර් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ දක්වා ගුවන් යානයේ ගමන් කළ 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ඇය පැවසුවා.

සුබෙයාර්ට සුළු තුවාල පමණක් ඇති බව බීබීසීය වාර්තා කරන අතර ඔහු පවසා ඇත්තේ යානය සාමාන්‍ය පරිදි පියසර කරන බවත් ගොඩබෑමට යන බවත් පමණක් දැනගෙන සිටි බවයි. එහෙත් එක්වරම සිදු වූ අනතුරෙන් ඔහු සිහිසුන් වී ඇති අතර සිහින එද්දී කෑගැසීම් ඇසුනු බව සඳහන් කර තිබෙනවා. දෑස් හැර බැලීමේදී එළියක් දුටු බවත් එළිය දෙසට යාමේ දී අඩි 10ක් පමණ පහළට ආරක්ෂාකාරී ස්ථානයකට වැටුනු බවත් ඔහු සඳහන් කර තිබුණා.

සිදුවීමෙන් බේරී ඇති බවට මුලින් සැක කළ තුන්වැනි පුද්ගලයා ගුවන් මගියෙකු නොව එහි සිටි නිවැසියෙකු බව පසුව තහවුරු වී තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් බහුතරය කාන්තාවන් බව ද යූසුෆ් පැවසුවා. “24 News” හී වැඩසටහන් අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ අන්සාර් නක්වි අනතුරට පත් වූ ගුවන් යානයේ සිට තිබෙනවා.

අනතුරට හේතුව

ගුවන් යානයේ එංජිමක් ක්‍රියාවිරහිත වූ බව එහි ගුවන් නියමුවා අවසන් වරට ප්‍රකාශ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය මේ වන විට වාර්තා කරනවා. ඒ අනුව ගුවන් යානය පහළට ඇදෙමින් තිබියදී මුලින් දුරකතන සංඥා කණුවක වැදී අසල පිහිටි නිවාස වෙත කඩා වැටී ඇති බව ද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටියා.

සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටින්නේ එම ගුවන් යානය ගොඩ බෑමට දෙතුන් වරක්ම උත්සාහ කරන අයුරු දුටු බවයි.

පාකිස්ථානයේ වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පියවරගෙන දින කිහිපයකට පසු මෙම අනතුර සිදු වී තිබෙනවා.

පාකිස්තානයේ ගුවන් අනතුරු ඉතිහාසය කෙටියෙන්

2010 දී පුද්ගලික ගුවන් සමාගමක් වන එයාර් බ්ලූ ආයතනයට අයත් ගුවන් යානයක් ඉස්ලාමාබාද් හී දී කඩා වැටීමෙන් එහි සිටි 152 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එය පාකිස්තාන ඉතිහාසයේ මාරාන්තිකම ගුවන් ව්‍යසනයයි.

2012 දී පාකිස්තානයේ භෝජා එයාර් ආයතනයට අයත් බෝයිං 737-200 යානය රාවල්පින්ඩි ගොඩබිමට ළඟා වීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වීමෙන් මගීන් 121 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එමෙන්ම 2016 දී උතුරු පාකිස්තානයේ සිට ඉස්ලාමාබාද් බලා යමින් සිටියදී පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන පුපුරා යාමෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

පෙර පුවත

Rivira Ads
To Top