දේශීය පුවත්

පුරාවස්තු ආරක්ෂාවට ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

(RIVIRA.LK, 2020 මැයි 23 පෙරවරු 11.59ට)

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට මැයි 22 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව කියා සිටි ජනාධිපතිවරයා මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් යුක්තව ක්‍රියාවට නංවන බව සඳහන් කළේය.

සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු

  • ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින්.
  • ජාතික ආරක්ෂාවට මුල් තැන.
  • මත්ද්‍රව්‍ය උවදුර මඩින්න උපරිම පියවර.
  • ශාසන කතිකාවතකට පූර්ණ සහාය.
  • බෞද්ධ උපදේශක සභාවට ජනපති කියයි.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිතුමා කීය.

ලොව සියලු රටවල් කොවිඩ්-19 අභියස දරුණු ලෙස ඇද වැටෙමින් ඇති අවස්ථාවක රටේ සමස්ත ජනතාව රැක ගනිමින් ජනාධිපතිතුමා ඉටු කරන මෙහෙවර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් විය.

කොවිඩ්-19 පාලනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ ජනාධිපතිතුමා අප්‍රේල් 30 දිනෙන් පසු සමාජය තුළින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු හමු නොවීම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

විදේශ රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායනයට ලක්කර සිටින බව ජනාධිපතිවරයා මහාසංඝරත්නය හමුවේ පැවසීය. ඔවුන් අතුරින් ඩුබායි සහ කුවේට් සිට පැමිණි කිහිප දෙනෙක් කොවිඩ්-19 ආසාදනයට ලක්ව සිටි බවත් මෙරටට එන පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

පිරිවෙන් සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්වය බෞද්ධ උපදේශක සභාවේ දීර්ඝ සාකච්ඡාවට ලක් විය. සාහිත්‍යය සහ ඉතිහාසය විෂයන් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් කිරිමට ඇතැම් වකවානුවල පියවර ගත් බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකත්වය සහ ප්‍රමුඛත්වය අධ්‍යාපනයට ලබා දී ඇති බව කී ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ දැනටමත් අරඹා ඇති බව සඳහන් කළේය.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කළහ. ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා මහාසංඝරත්නය වෙත පෙන්වා දුන්නේය. පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී තිබෙන බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය. සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත විශේෂයෙන්ම උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා කළ කථාවට උපහාර දැක්වීමට ශබ්ද කෝෂයේ වචන නැතැයි සඳහන් කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ඒ පිළිබඳව ආශිර්වාදය පළ කළහ.

ව්‍යාකූල වූ සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ සහ දේශපාලනඥයන් අතර ගැටුම් අවුළුවන මාධ්‍ය හැසිරීම මහා සංඝරත්නයේ විවේචනයට ලක් විය.

ලොව සියලු රටවල් අභිබවා කොවිඩ්-19 පරාජය කිරීමට මෙරට රජය ගත් පියවර අගය කළ යුතු තත්වයක දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කොවිඩ්-19 වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර, ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ද සාකච්ඡාවට එක් විය.

Rivira FB Group Rivira Youtube
To Top