2020 මහමැතිවරණය

මැතිවරණය කල් දමන්න ගහපු සැළසුමක් ඇමති චන්ද්‍රසේන හෙළි කරයි, කොමිසමේ ස්වාධීනත්වය කෙහෙළිය ප්‍රශ්න කරයි

(RIVIRA.LK, 2020 මැයි 23 පස්වරු 07.07ට)

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු කියා සිටින්නේ පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටියදීත් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලමින් උසාවි පවා ගිය බවයි.

මැයි 23 දින මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා. වත්මන් විපක්ෂය ආණ්ඩු පක්ෂයේ සිටියදීත් විපක්ෂයේ සිටියදීත් මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි යෑම බරපතල තත්වයක් බවද ඔහු සඳහන් කළා.

එසේම තමන් දන්නා පරිදි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයෙකුත්, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මැතිවරණ පැවැත්විය යුතු බවට වන ස්ථාරවයක සිටියත් කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ඊට එරෙහි තැනක සිටින බව ඇමතිවරයා කියා සිටියා.

එසේම ඔහුගේ දියණිය මැතිවරණ කොමිසම වෙත කැඳවාගෙන යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශයක සිට පැමිණි කොමිසමේ සාමාජික හූල්ගේ දියණිය දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වීමෙන් අනතුරුව නිවසේ දින 14ක් නිරෝධායනය වීමෙන් වැළකී මැතිවරණ කොමිසම වෙත රැගෙන ගියේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයද දින 14කට නිරෝධායනය කිරීමට සැළැස්වීමෙන් මැතිවරණය කල් දැමීමටදැයි සැක මතුවන බවයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මැතිවරණය කල් දැමීමේ සූදානම් පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “ස්වාධීන යැයි පැවසෙන මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව සැක මතුවී ඇති බවයි.

මැයි 23 දින කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට ජුනි 20 දිනයේ සිට දින 60ක් 70ක් පමණ අවශ්‍ය බව අධිකරණය වෙත මැතිවරණ කොමිසම කියා සිටීම ගැටළුකාරී ප්‍රකාශයක් බවයි. එමෙන්ම මාර්තු 19 ඉඳලා අප්‍රේල් 25 දක්වා ඇත්තේ දවස් 36ක් බව කියා සිටි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා අවසන් කළ දිනයේ සිට දින 36ක් ප්‍රමාණවත් බව සනාථ වී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ පනත අනුවද නාමයෝජනා බාරගැනීමෙන් අවම සති 5කුත් උපරිම සති 7කුත් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු දක්වා බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණය පැවැත්වීමට රටේ තත්වය බාධාවක් නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ ඇති තත්වයක් තුළ මෙන්ම මැතිවරණ කොමිසම විසින් දවස් 36ක් තුළ මැතිවරණයක් පැවැත්විය හැකි බව සනාථ කර ඇති තත්වයක් තුළ දවස් 70ක් ඉල්ලීම පුදුම සහගත බව කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියා. එය මැතිවරණය කල් දැමීම සඳහා වන ඉතා සුක්ෂම වැඩපිළිවෙළක් විය හැකි බවට සැකයක් මතු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එසේම එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවලට තිබූ පරම අපේක්ෂාව පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීම බව පෙන්වූ කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඒ අපේක්ෂාවන් සමග මැතිවරණ කොමිසමේ හැසිරීම සමාන වන බවයි. ඒ අනුව එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතල ගැටළුවක් ඇති වී තිබෙන බව ද මන්ත්‍රීරයා පෙන්වා දුන්නා.

රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සුදුසු යැයි හැඟෙන පළමු නිමේෂයෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීම සියලු දෙනාගේ වගකීමක් බවද කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top