කොවිඩ්-19

කොවිඩ්-19 හේතුවෙන් වාර්තා වූ 10 වැනි මරණය ගැන වැඩි විස්තර

(RIVIRA.LK, 2020 මැයි 25 පස්වරු 06.31ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වූ 10 වැනි මරණය මැයි 25 දින වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවකි.

අදාළ කාන්තාව 51 හැවිරිදි වියේ පසු වූ බවත් ශ්‍රී ලංකාවේ පයාගල ප්‍රදේශයේ ජීවත්වී ඇති කාන්තාවක් බවත් තහවුරු වී තිබෙනවා.

අදාළ කාන්තාව හෘද රෝගයකින් ද පෙළී ඇති කාන්තාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. මැයි 25 උදෑසන හදිසියේ රෝගාතුර වී ඇති කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානය බාරව සිටි යුද හමුදාව විසින් ත්‍රිකුණාමලය රෝහලට වෙත ගෙන ගොස් තිබු අතර රෝහලට ඇතුළත් කර ඇති අදාළ කාන්තාව මිය ගිය බව යුද හමුදාව වෙත දන්වා තිබුණා.

පසුව කාන්තාව සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී ඇය කොරෝනා ආසාදිත කාන්තාවක බව තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
.
මේ විට ශ්‍රී ලංකාවෙන් සමස්ත ආසාදිතයින් 1,162 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 10 දෙනෙකු මිය ගොස් 695 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබන ගණන 457ක් ලෙසයි වාර්තා වන්නේ.

Rivira FB Group Rivira Youtube
To Top