(RIVIRA.LK, 2020 මැයි 26 පෙරවරු 09.55ට)
විදේශයන් හී සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල යටතේ කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.
මැයි 26 දින රූපවාහිනී වැඩ සටහනකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
කුවේට් රාජ්‍යයෙන් පැමිණි 90 කට හා ඩුබායි සිට පැමිණි 18 දෙනෙකුට හා ඉන්දුනිසියාවේ සිට පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපතිවරයා කියා සිටියා.
කෙසේ වෙතත් විදෙස් රටවලින් පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂාකාරී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර එහිදී කරනු ලැබු PCR පරීක්ෂණවල දී ඔවුන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා විශේෂයෙන්ම සඳහන් කළා.
මුල් අදියරේ දී 3,626 දෙනෙකු මේ යටතේ ශ්‍රී ලංකාවට ගෙන ආ බවත් ඒ පිරිසෙන් 41 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටි බව යුද හමුදාපතිවරයා පැවසුවා. ඒ අදියරෙන් පසු නැවත මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශයන් හී සිට පුද්ගලයින් ගෙන්වා ගැනීම ඇරඹු අතර එහිදී මේ වන විට 116 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් මේ වන විට ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

