කොවිඩ්-19

සුවය ලැබූ ගණන 700 ඉක්මවයි, ආසාදිතයින් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

(RIVIRA.LK, 2020 මැයි 26 පස්වරු 01.29ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 26 අඟහරුවාදා පස්වරු 01.00 වන විට 1,182ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 26 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 17ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

මැයි 25 දිනය තුළ නව ආසාදිතයින් 41ක් වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම විදේශයන් හී සිට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 10 වැනි මරණය මැයි 25 දින වාර්තා වූ අතර ඇය ද කුවේට් හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 712කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 460ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 76ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 60.2%ක් ලෙසත් මරණ අනුපාතය 0.8%ක් ලෙසත් වාර්තා වේ.

මේ වන විට “worldometers.info” වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව සමස්ත ආසාදිතයින් ප්‍රමාණය අතුරින් ලොව 100 වන ස්ථානයේ සිටින අතර මිලියනයට සිටින ආසාදිතයින් අතරින් 167 වන ස්ථානයේ පසු වෙයි. ඒ රටවල්, ස්වයං පාලන ප්‍රදේශ සහ ස්වාධීන ඒකක 215ක් අතරිනි.

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 628 දෙනෙකුත්, යුධ හා ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුත් වෛරසය ආසාදිත සමස්ථ පිරිස අතර සිටිනවා. විදේශයන් හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිට පසුව ආසාදිත බව හඳුනාගත් පිරිස 161 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීයව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ 68ක් ද ආසාදිත බව හඳුනාගත් පිරිස අතර සිටී.

වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 628 දෙනාගෙන් 332 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අප්‍රේල් 22 දිනෙන් පසු වාර්තා වූ ආසාදිතයින් මෙසේය.

  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයන් – 664
  • විදේශයන් හී සිට පැමිණි ගණන – 123
  • වෙනත් – 87

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 460 අතුරින්,

  • IDH රෝහල – 73
  • වැලිකන්ද මූලික රෝහල – 66
  • මුල්ලේරියාව මූලික රෝහල – 40
  • ඉරණවිල මූලික රෝහල – 32
  • කාත්තන්කුඩි මූලික රෝහල – 67
  • නාවික හමුදා රෝහල – 55ක් ද
  • හෝමාගම මූලික රෝහල – 66ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 48ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
  • රොහල් වෙත යොමු කරමින් ඇති ගණන – 13කි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 56,181ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,625ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top